පරස්පර අදහස්



නව කොරෝනා වයිරසය මර්දනය කළ හැකි එන්නතක් සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පරස්පර මත ඉදිරිපත් වෙමින් තිබේ.

ඉදිරි සති කිහිපය තුළ දී නව කොරෝනා වයිරසය මර්දනය කළ හැකි එන්නතක් ලබාදිය හැකි යැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කළේය. එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී රොබට් රෙඩ්ෆීල්ඩ් ඊට පරස්පර මතයක් ඉදිරිපත් කර ඇත.

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරස වසංගතයට එන්නතක් සෙවීම ගෝලීය ප්‍රමුඛතාව බවට පත්ව තිබේ. ඒ අතරවාරයේම ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයට තවත් ඇත්තේ සති කිහිපයක් පමණි. මේ තත්ත්වය හේතුවෙන් කොරෝනා එන්නත පිළිබඳ කතාබහ ඇමෙරිකාව තුළ ප්‍රධාන මාතෘකාවක් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වන කතාබහ උණුසුම් වී තිබේ.

ලබන මස මුලදී ඇමෙරිකාවේ සියලු දෙනාට කොරෝනා එන්නත ලබාගැනීමට හැකිවනු ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා පැවැසීය. කෙසේ නමුත් ඉහත සඳහන් කළ පරිදි වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් ඊට වෙනස් අදහසක් ඉදිරිපත් කර තිබේ.

“අපිට ඔක්තෝබර් වෙද්දි එන්නත ලබාදෙන්න පුළුවන් වේවි” යැයි ට්‍රම්ප් කීය. එසේ වුවත් එන්නත ලබාදීමට තවත් බොහෝ කාලයක් ගතවනු ඇතැයි වෛද්‍ය රෙඩ්ෆීල්ඩ් කීය. ඇමෙරිකා එක්සත් ජනපදයේ පාර්ලිමේන්තුව වන කොංග්‍රසයේ කමිටුවක් ඉදිරියේ සාක්ෂි දෙමින් ඔහු ඒ බව කීවේය.

ලබන වසරේ මැද භාගය වනතෙක් එන්නතක් ලබාදීමට නොහැකි බව ඔහු කීවේය .

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS