න්‍යෂ්ටික-මිසයිල අත්හදා බැලීම් දිගටම



සාමයට කැපවෙමින් තමන්, න්‍යෂ්ටික අවිහරණයකට සූදානම් වුවත්, ඇමෙරිකාවෙන් එල්ලවන ‘අනවශ්‍ය බලපෑම්’ හේතුවෙන්, එම අදහස අතහැර දැමුවේ යැයි අවුරුදු උදාවත් සමඟ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් උතුරු කොරියා නායක කිම් ජොන් උන් අවධාරණය කර තිබේ.

ඉදිරියේ දී නව ආකාරයක ‘ක්‍රමෝපායික අවි පද්ධතියක්’ නිර්මාණය කිරීමට සැලැසුම් සකස් කරන බවත්, ඒ සඳහා නවීනතම තාක්ෂණය භාවිත කරන බවත් උතුරු කොරියා නායකයා වැඩි දුරටත් පැවැසූ බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

ගෙවී ගිය 2019 වසර ආරම්භයේ දී උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රමුඛ රජය කියා සිටියේ තමන් සාමයට කැප වෙමින් කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට පියවර ගන්නා බවය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ නායක කිම් ජොන් උන් අතරේ අවස්ථා තුනකදී හමුවීම් පැවැති අතර, උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණ කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා පැවැත්විණි. කෙසේ නමුත් ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතරේ වියට්නාමයේ පැවැති හමුව අසාර්ථක විය.

න්‍යෂ්ටික අවිහරණ කටයුතු සම්පූර්ණ කිරීමට ඇමෙරිකාව, උතුරු කොරියාවට පසුගිය 31 වැනිදා දක්වා කල් දුන්නේය. ඒ සමඟ උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු මෙන්ම දිගු දුර බැලැස්ටික් මිසයිල නිපදවීම සහ අත්හදා බැලීමේ කටයුතු ද නවත්වා තිබුණි. දිගු දුර මිසයිල අත්හදා බැලීම් නවතා තිබුණත් කෙටි දුර මිසයිල කීපයක් අත්හචා බැලුවේ ජාතික ආරක්ෂාව වෙනුවෙනි.

ඇමෙරිකාව දිගින් දිගටම කියා සිටියේ උතුරු කොරියාව, තමන් අපේක්ෂා කරන අයුරින් න්‍යෂ්ටික අවිහරණයක් සිදු නොකරන බවය. උතුරු කොරියාව දිගින් දිගටම කියා සිටියේ, තමන් න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදු කළත්, ඇමෙරිකාව ඒ ගැන තැකීමක් හෝ ඇගයීමක් හෝ නොකළ බවය. ඇමෙරිකාව අනවශ්‍ය ලෙස තමන්ට පීඩනයක් එල්ල කරමින් කෙණෙහිලිකම් කරනවා යැයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් චෝදනා කරන්න වූයේ මේ නිසාය.

යොංග්යැංග්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS