දෝෂාභියෝග හුටපටය අවසන් වේවි



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි එරට පාර්ලිමේන්තුවේ (කොංග්‍රසය) සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කළ දෝෂාභියෝගය සලකා බැලීම ආරම්භ වූ අතර, ට්‍රම්ප්  පැවැසුවේ, දෝෂාභියෝගය සම්බන්ධයෙන් හටගත් ‘හුටපටය’ කඩිනමින් අවසන් වනු ඇතැවි තමන් අපේක්ෂා කරන බවය.

ජනපති ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සිදුවූයේ එය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුවය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට නොව, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයටය. එහෙයින් දෝෂාභියෝගයෙන් ට්‍රම්ප් පැරැදුණේය.

ට්‍රම්ප්ට එරෙහිව නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පෙලෝසි දෝෂාභියෝගයක් ගෙන ආවේ ට්‍රම්ප් සිය ජනපති බලතල අවභාවිත කළේ යැයි චෝදනා එල්ල කරමිණි.

දෝෂාභියෝගයේ මීළඟ අදියර වන්නේ එය සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමය. ලබන 21 වැනිදා, දෝෂාභියෝගය සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වෙයි.

සෙනෙට් මණ්ඩලයේ බහුතරය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුවය. එහෙයින් දෝෂාභියෝගය පහසුවෙන් පරාජය කිරීමට තමන්ට හැකිවනු ඇතැයි ජනපති ට්‍රම්ප්ගේ විශ්වාසය වී තිබේ.

වොෂින්ටනයේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS