ත‍්‍රස්ත ලැයිස්තුවෙන් සුඩානය ඉවත් කරන්න



ඇමෙරිකා එක්සත් ජනපදයේ ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යවල ලැයිස්තුවෙන් සුඩානය ඉවත් කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අඩිස් අබාබාහිදී ඉල්ලීමක් කළේය.

ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර පැවැති අප්‍රිකානු සංගමයේ වාර්ෂික සම්මේලනය අමතමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඉරිදා ඒ බව පැවැසීය.

සුඩානය ජාත්‍යන්තරය සබඳතා ආරම්භ කරමින් නව මාර්ගයකට පිවිස ඇති බවත් ඔවුන්ට අභියෝග ජයගනිමින් ඉදිරියට යෑමට සහයෝගය දැක්විය යුතු බවත් ඇන්ටෝනියෝ ගුටරෙස් කීය.

සුඩානය ත්‍රස්තවාදයට අනුග්‍රහාය දැක්වූ රටවල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කාලය පැමිණ ඇතැයි ද ඔහු කීවේය.

සුඩානය ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහාය දක්වන බවට චෝදනා කරමින් ඇමෙරිකාව 1993 වසරේදී ත්‍රස්තවාදයට සහාය දක්වන රටවල ලැයිස්තුවට සුඩානය ඇතුළත් කළේය. එවකට සුඩාන ජනාධිපති ඕමාර් අල් බෂීර් ත්‍රස්ත කණ්ඩායම්වලට සහාය දක්වන්නේ යැයි ද ඇමෙරිකාව චෝදනා කළේය.

ඇමෙරිකාව ගත් එම පියවර නිස සුඩානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ලෝක බැංකුවෙන් ණය, මූල්‍ය සහ ණය සහන ලබා ගැනීමට නොහැකි විය.

සුඩානය එම ලැයිස්තුවෙන් ඉවත් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය 2017 වසරේ ජනවාරි මාසයේදී නිල ක්‍රියාවලිය ආරම්භ කළේය. එහෙත් මීට වසරකට පෙර සුඩානයේ ඇති වූ දැවැන්ත විරෝධතා නිසා එම ක්‍රියාවලිය අතරමග නැවැතුණි. එම විරෝධතා හේතුවෙන් ඕමාර් අල් බෂීර්ට බලයෙන් ඉවත් වීමට සිදු වූ අතර හමුදාව බලය අත්පත් කරගත්තේය. ඉන් අනතුරුව හමුදා පාලනය සහ සිවිල් වැසියෝ බලය බෙදීමේ ගිවිසුමකට එකඟ වූහ.

පසුගිය කාලයේ සිදුවීම් නිසා සුඩානය ජාත්‍යන්තර ප්‍රජාවෙන් කොන් විය. විශේෂයෙන්ම බටහිර රටවල් සුඩානය නොසලකා හැර තිබිණි. කෙසේ නමුත් එම තත්ත්වය නොසලකා හැර තම රට පිළිගන්නැයි සුඩාන අග්‍රාමාත්‍ය අබ්දල්ලා හම්දොක් අවස්ථා කිහිපයකදී බටහිර රටවලින් හා ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියේය. තම රට ආර්ථික අර්බුදයෙන් මුදාගෙන ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව සාර්ථකව ඉදිරියට ගෙන යෑමට ඇති එකම මග එය යැයි ද ඔහු කීවේය.

සුඩානයට විදෙස් ආධාර අවශ්‍ය බවත් එම අවශ්‍යතාව ඉතා ඉහළ බවත් අග්‍රාමාත්‍ය හම්දොක් පසුගිය සැප්තැම්බර් මාසයේදී පැවැසීය.

“කලින් රෙජීමය තමයි ත්‍රස්තවාදයට උදව් කළේ. සුඩාන ජනතාව ඊට විරුද්ධව විප්ලවයක් කළා. සුඩානයට පනවා තිබෙන සම්බාධක නිසා ජනතාව පුදුමාකාර වේදනාවක් වින්ඳා” යැයි හම්දොක් පැවැසීය. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැති එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේදී ඔහු ඒ බව කීය. හම්දොක් අග්‍රාමාත්‍ය ධුරයට පත් කෙරුණේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදීය.

“එම නිසා ත්‍රස්තවාදයට උදව් දෙන රටවල ලැයිස්තුවෙන් සුඩානය ඉවත් කරන්නැයි අපි ඇමෙරිකාවෙන් ඉල්ලා සිටිනවා. කලින් රෙජීමයේ වැරැදිවලට සුඩාන ජනතාවට දඬුවම් කරන්න එපා” යැයි ද ඔහු එහිදි කීය.

අල්ජසීරා  


RECOMMEND POSTS