ටික්ටොක් ඇතුළු චීන මෘදුකාංග තහනම්



ඉතා ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබූ ‘ටික්ටොක්’ ජංගම දුරකතන මෘදුකාංගය අවහිර කිරීමෙන් අනතුරුව තවත් චීන මෘදුකාංග 47ක් තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇත.

ඉන්දියාව මීට පෙර ‘ටික්ටොක්’ ජංගම දුරකතන මෘදුකාංගය ඇතුළු චීනයේ සංවර්ධිත මෘදුකාංග 58ක් තහනම් කිරීමට ඉන්දියාව මීට සති කිහිපයකට පෙර පියවර ගත්තේය.

ජාතික ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය යන කරුණු මුල් කරගනිමින් එම පියවර ගත් බව ඉන්දියාවේ තොරතුරු පිළිබඳ අමාත්‍යාංශය නිවේදනය කර තිබිණි. ඉන්දීය මාධ්‍ය ද අද ඒ සම්බන්ධයෙන් වාර්තා කර තිබිණි.

ලොව වැඩිම ජනගහනයක් වෙසෙන රටවල් දෙක වන්නේ ද ඉන්දියාව සහ චීනය වන අතර පසුගිය කාලයේදී දෙරට අතර මතභේද සහ අර්බුද උත්සන්න විය. දෙරට වෙන් කෙරෙන හිමාලයානු දේශසීමාවේදී බලවතුන් දෙදෙනා අතර ගැටුම් ඇති විය. එක් අවස්ථාවක ඇති වූ ගැටුම් හේතුවෙන් ඉන්දීය සෙබළුන් 20 දෙනකුට ජීවිත අහිමි වූ අතර චීන සෙබළුන් තුවාල ලැබූ බව වාර්තා විය.

‘‘අපි චීන ජංගම දුරකතන මෘදුකාංග 47ක් තහනම් කළා. ජාතික ආරක්ෂාව, දත්තවල පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම යන කරුණු සලකා බලමින් රජය ආණ්ඩුව එම පියවර ගත්තා’’ යැයි නම සඳහන් නොකළ නිලධාරියෙක් පැවැසීය.

‘‘මේ නියෝගය නිකුත් කළේ පසුගිය සිකුරාදා. මෙම මෘදුකාංග 47ත් කලින් තහනම් කරන ලද මෘදුකාංග 59ත් තහනම් කළේ එකම හේතුව මත. මෙම මෘදුකාංගවලින් බොහෝමයක් කලින් තහනම් කරන ලද මෘදුකාංගයේ විවිධ වර්ග’’ යැයි ද ඔහු කීය.

ඉන්දීය රජය මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති නමුත් ඉන්දියාවේ ප්‍රධාන මාධ්‍ය රැසක් ම ඒ සම්බන්ධයෙන් පුවත් වාර්තා කර තිබිණි.

ජූනි මාසයේ මැද සිටම ඉන්දියාව තුළ චීන විරෝධී රැල්ලක් ඇති වූ අතර වීදිවල විරෝධතා ද දක්නට ලැබිණි. චීන නිෂ්පාදන තහනම් කරන්නැයි ද ඔවුහු බොහෝදෙනා ඉල්ලූහ. ඉන්දියාවේ ජනගහනය බිලියන 1.3කට ආසන්න වේ.

මේ ආකාරයෙන් චීනයේ සංවර්ධිත ජංගම මෘදුකාංග 275කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරියේදී තහනම් වනු ඇතැයි පැවසේ.

සෙල්ලම් බඩු, විලවුන් වර්ග, ආලේපන, අත්බෑග්, නිවෙස්වල භාවිතයට ගන්නා විදුලි උපකරණ, ඖෂධ, වාහන අමතර කොටස් සහ වානේ ඇතුළු 3,000කට වඩා නිෂ්පාදන ඉන්දියාව, චීනයෙන් අපනයනය කරයි.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS