ට්‍රම්ප්ගේ මෝඩ නියෝගවලට විරුද්ධ වෙන්නැයි ඔබාමා ඉල්ලයි



නව ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් දුර දිග කල්පනා නොකොට නිකුත් කරන විධායක නියෝගවලට ඇමෙරිකානුවන් සැවොම එක්වී, එකාමෙන් විරෝධය පළ කළ යුතු යැයි ධුරයෙන් සමුගත් ජනාධිපති බැරැක් ඔබාමා කියයි.

ට්‍රම්ප් දුර දිග නොබලා ගන්නා ‘අනුවණ’ තීන්දු සහ තීරණ හේතුවෙන් ඇමෙරිකාව හෑල්ලුවට ලක් වී ඇති බවත්, ඇමෙරිකාවේ සැබෑ ‘හරය’ නැතිවී යෑමට පටන් ගෙන ඇති බවත් ඔබාමා වැඩි දුරටත් කියා සිටී.

මේ වනවිට ට්‍රම්ප්ගේ විධායක නියෝග මුල්කොට ගනිමින් ඇමෙරිකාවේ සෑම ප්‍රධාන නගරයකම විරෝධතා පැවැත්වෙයි. දහ දහස් ගණනින් ඇමෙරිකානුවන් ඊට එක් වී සිටිති. ට්‍රම්ප් හිතවාදීන් පවසන්නේ පරාජයට පත්වුණු ඩිමොක්‍රටික් පක්ෂය එම පිරිස් උසි ගන්වන බවටය. පසුගිය ඇමෙරිකන් ජනපතිවරණයේ දී, ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වය සඳහා තරග වැදුණු බර්නි සැන්ඩර්ස් ද වොෂින්ටන් නුවර විරෝධතා රැලියක් මෙහෙයවූ බව වාර්තා වෙයි.

ඇමෙරිකානු ඉතිහාසයේ නව ජනපතිවරයකුට සිය ධුරයේ වැඩ භාර ගත් අවස්ථාවේ පටන් ඔහුට එරෙහිව විරෝධතා ආරම්භ වුණු පළමු අවස්ථාව මෙය විය. එහෙයින්, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පළමු දින 100 අවිනිශ්චිත යැයි එරට දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඇමෙරිකානු ජනාධිපතිවරයකුගේ පළමු දින 100 දෙන මුළු ලෝකයේම අවධානය යොමු වෙයි. එම දින 100 ඔහු සාර්ථක ද අසාර්ථක ද යන්න අනුව පැසැසුම් සහ ගැරැහුම් එල්ල වෙයි.

 

(රොයිටර්)


RECOMMEND POSTS