චීනයෙන් තවත් ලෙඩක්



දරුණු නිව්මෝනියා තත්ත්වයක් එසේත් නැතිනම් පෙනහළු ආසාදන තත්ත්වයක් ඇති කරන මින් පෙර හමුනොවුණු ආකාරයේ වයිරසයක් පිළිබඳ චීනයෙන් වාර්තාවේ.

මේ වයිරසයේ ආරම්භයත් එය පැතිර යෑමත් සිදුවුණේ චීනයේ වූහාන් නගරයේය. සියයකට ආසන්න පිරිසකට වයිරසය ආසාදනය වුණු බවත්, ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල වුණු බවත් චීන පුවත් සේවා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වයිරසය අයත් වන බව පැවැසෙන්නේ කොරොනා වයිරස අතරටය. කොරොනා වයිරස වර්ග රැසකි. ඒවායින් මිනිසාට ආසාදනය වන්නේ වයිරස 6 ක් පමණි. මෙම නව වයිරසයට හමුවීමත් සමඟ එම සංඛ්‍යාව 7 තෙක් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

‘සාර්ස්’ වයිරසය ලොව කැලඹුවේ 2002 දීය. එය ද ආරම්භ වූයේ චීනයෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. ‘සාර්ස්’ කොරොනා වයිරසකි. 2012 දී ‘මර්ස්’ වයිරසය මැදපෙරදිග කැලඹුවේය. මෙය ද කොරොනා වයිරසකි. සිදු කරන පරීක්ෂණය අනුව වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙම නව වයිරසය, ‘සාර්ස්’ තරම් දරුණු සහ මාරක වයිරසයක් නොවනු ඇති බවය. උණ සහ සෙම්ප්‍රතික්ෂාව මෙම නව වයිරසයේ ද රෝග ලක්ෂණ වෙයි.

වයිරස වර්ග බොහොමයක් මිනිසාට ආසාදනය වන්නේ සතුන්ගෙනි. වූහාන් කේන්ද්‍රකොට ගනිමින් වයිරසය පැතිරෙන්නේ මුහුදු ආහාර හරහා යැයි සැකයක් පවතී. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව ද වාර්තා වේ. වයිරසයේ ප්‍රභවය කුමක්දැයි තහවුරු කර ගැනීමෙන් ඊට පිළියම් යෙදීම කළ හැකි බව චීන සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.

චීන පුවත් සේවා ඇසුරිනි


RECOMMEND POSTS