චන්ද්‍රයාන් 3 මෙහෙයුමට සූදානම්



සඳේ ජල අංශු ඇති බව පළමුවෙන් සොයා ගත්තේ ඇමෙරිකාවේ නාසා ආයතනය නම් නොවෙයි. ඉන්දියාවයි. ඉන්දියාවේ අභ්‍යවකාශ ආයතනය හෙවත් ‘ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය’ යි. ‘නාසා’ මෙන් කෙටියෙන් මෙය හැඳින්වෙන්නේ ‘ඉස්රෝ’ යනුවෙනි.

‘ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය’ සඳේ ආවාට අතරේ ජල අංශු ඇති බව ලොවට අනාවරණය කළේ 2008 වසරේ දී, ඔවුන්ගේ ‘චන්ද්‍රයාන් 1’ සඳ ගවේෂණ යානය මගිනි. මෙම ගවේෂණ යානය සඳේ කක්ෂයට පිවිස, සඳ සිතියම් ගත කළේ චන්ද්‍රිකාවක් සේ, සඳ වටා යමිනි. ‘චන්ද්‍රයාන් 1’ ඉන්දීය රුපියල් කෝටි 386 (ඇමෙරිකන් ඩොලර් මිලියන 54) ක නිර්මාණයකි. සඳේ ජල අංශ ඇති බව ‘ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය’ අනාවරණය කිරීමත් සමඟ නාසා ආයතනය ඒ ගැන වැඩි දුරටත් සොයා බැලුවේය. ‘චන්ද්‍රයාන් 1’ යානයේ සොයා ගැනීම නාසා තහවුරු කළේය.

‘චන්ද්‍රයාන් 1’ සාර්ථකත්වයත් සමඟ පසුගිය 2019 වසරේ ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුම ඇරැඹිණි. ‘චන්ද්‍රයාන් 2’ සංකීර්ණ මෙහෙයුමක් විය. යානා තුනක් ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුමට ඇතුළත් විය. ‘වික්‍රම’ නමැති පතිත කරවන ගවේෂණ යානය සඳට ගොඩබෑමට යැවුණි. ඒ, තුළ ‘ප්‍රාග්යාන්’ යන නමින් නම් කළ රොබෝ රෝවර් යානයක් ද විය. රෝවර් යානයක් යනු එහෙමෙහෙ යමින් ගවේෂණ කටයුතු කරන යානයකි. අවාසනාවකය සඳට පහත් කරද්දී, ‘ප්‍රාග්යාන්’ සඳට කඩා වැටුණේය. යානය විනාශ වී මෙහෙයුම අසාර්ථක විය. ඉන්දීය රුපියල් බිලියන 10 ක් අපතේ ගියේය.

‘ප්‍රාග්යාන්’ සඳට ගොඩබානු දැක ගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ මෙහෙයුම් මැදිරියට ගොස් සිටියේය. ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුම අසාර්ථක වී, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ ප්‍රධානී කයිලසවාදියෝ සිවන් කඳුළු සලද්දී, ඔහු තුරුලට ගෙන සැනසුවේ මෝදිය. ‘අපි අයෙත් උත්සාහ කරමු’ ඒ, මෝදිගේ වදන් ය.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ ප්‍රධානී කයිලසවාදියෝ සිවන් පසුගිය දා විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීය. ඒ, ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම ගැන කරුණු පැහැදිලි කිරීමටය. ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවත් මෙම වසරේ එනම් 2020 නොවැම්බරයේ ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම දියත් කරන බවත් මෙවර එම මෙහෙයුම සාර්ථක වනු ඇති බවත් කයිලසවාදියෝ සිවන් පැහැදිලි කළේය. චන්ද්‍රයාන් 3 මෙහෙයුමට ඉන්දීය රුපියල් බිලියන 6.5 ක් වැය වනු ඇති බව ද පැවැසිණි.

2022 දී ඉන්දියාව ඔවුන්ගේ ගගනගාමීන් තිදෙනකු අභ්‍යවකශයට යැවීමට ද සූදානම් වන බව කයිලසවාදියෝ සිවන් වැඩි දුරටත් කියා සිටියේය. ඒ, ‘ගගන්යාන්’ අභ්‍යවකාශ මෙහෙයුම යටතේය. ‘ගගන්යාන්’ අභ්‍යවකාශ මෙහෙයුම සඳහා ඉන්දීය ගගනගාමීන් තිදෙනකු තෝරා ඔවුන්ට පුහුණව ලබා දෙන බව ද කයිලසවාදියෝ සිවන් කියා සිටියේය.

ඉන්දීය පුවත් සේවා ඇසුරිනි


RECOMMEND POSTS