කොංග්‍රසයට වැඩි කාන්තා නියෝජනයක්



ඇමෙරිකාවේ 116 වැනි කොංග්‍රස මණ්ඩලය දිවුරුම් දුන් අතර, මෙවර වැඩි කාන්තා නියෝජනයක් දකින්න ලැබෙන බව ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙයි.

ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය යනු නියෝජිත (පහළ) මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයයි. දිවුරුම් දෙනු ලැබුවේ පසුගිය නොවැම්බරයේ පැවැති මාධ්‍යවාර මැතිවරණයෙන් ජයග්‍රහණය කළ සාමාජික සාමාජිකාවන්ය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සිවුවසරක ධුර කාලයේ ධුර කාල දෙකක් සම්පූර්ණ වෙද්දී පැවැත්වුණු එම මධ්‍යවාර මැතිවරණයෙන්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය හිමිකර ගැනීමට ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂය සමත් විය. කෙසේ නමුත් සෙනෙට් මණ්ඩලයේ බලය දිගටම රඳවා ගැනීමට ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන් සමත් විය.

2016 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් පසු ඩොනල්ඞ් ට්‍රම්ප් බලයට පත් වෙද්දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේත්, සෙනෙට් මණ්ඩලයේත් බහුතරය රිපබ්ලිකන් පක්ෂය සතුව පැවැතිණි.

නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායක ලෙස ඩිමොක්‍රටික් පාක්ෂික නැන්සි පෙලොසි දිවුරුම් දුන්නාය. ඉන්පසු ඇය මැදැහත් වී, ඇමෙරිකා රජය අකර්මණ්‍ය වීම වැළැක්වීමට නව යෝජනාවලිය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවාය. එම යෝජනාව පහසුවෙන් සම්මත කර ගැනීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට හැකියාව ලැබුණි.

මෙවර කොංග්‍රසයට තේරී පත් වී සිටින කාන්තාවන් අතර ඇමෙරිකානු මුස්ලිම් ජාතික කාන්තාවෝ දෙදෙනෙක් ද වෙති. කොංග්‍රසයට මුස්ලිම් ජාතික කාන්තාවන් දෙදෙනකු තේරී පත්වුණු ප්‍රථම අවස්ථාව මෙය යැයි පැවැසෙයි. ඩිමොක්‍රටික් පාක්ෂිකයන් වන ඉහාන් ඕමාර් සහ රෂීන්ඩා තලීබ් ඔවුන් දෙදෙනාය.

ඩිට්‍රොයිට් හි උපන් තරුණියක වන ත්ලයිබ්ගේ මාපියෝ ඇමෙරිකාවට සංක්‍රමණය වී පුරවැසිභාවය ලබා ගත් පලස්තීනුවෝය. ඕමාර් කුඩා කළ ඇමෙරිකාවට සංක්‍රමණය වී එරට පුරවැසිභාවය හිමිකරගත් තරුණියකි. ඕමාර්, සෝමාලියාවේ සිවිල් යුද්ධයෙන් බේරී, කෙන්යාවේ සරණාගත කඳවුරකින් ඇමෙරිකාව බලා පැමිණ ඇත. ඕමාර්, ඇමෙරිකන් කොංග්‍රසයට තේරී පත් වුණු පළමු සෝමාලි ඇමෙරිකානු කොංග්‍රස් සභිකයා ද වෙයි.

ළාබාලතම කොංග්‍රස් මණ්ඩල සාමාජිකාව වන්නේ, ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ කෝර්ටේස්ය. ඩිමොක්‍රටික් පාක්ෂික ඇලෙක්සැන්ඩ්‍රියා කොංග්‍රසයට තේරී පත් වූයේ නිව්යෝක් හි 14 වැනි දිස්ත්‍රික්කය නියෝජනය කරමිණි.

ඒ පිටපිට 10 වතාවක් එම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කොංග්‍රස් මණ්ඩල සාමාජිකයකු ව සිටි ජිමොක්‍රටික් පාක්ෂික ජෝ ක්‍රෝව්ලි පරාජය කරමිණි. ඇලෙක්සැන්ඩ්‍රියාගේ පියා දකුණුදිග බ්‍රොන්ක්ස් පළාතේ පදිංචිකරුවෙකි. මව කැරීබියානු දූපත් රාජ්‍යයක් වන පුවර්ටෝ රීකෝ සිට ඇමෙරිකාවට පැමිණි තැනැත්තියකි.

2016 වසරේ, ජනාධිපතිවරණය වෙනුවෙන්, ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා වීමට තරග වැදුණු බර්නී සැන්ඩර්ස්ගේ මැතිවරණ කටයුතු මෙහෙයවීම කළ තැනැත්තිය වන්නේ ද මැය යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

කොංග්‍රස් මණ්ඩලයට ස්වදේශීය රතු ඉන්දියානු කාන්තාවෝ දෙදෙනෙක් ද තේරී පත් වී සිටිති. ඔවුන් දෙදෙනා ඩෙඞ් හාලන්ඞ් සහ ෂරීස් ඬේඩිඞ්ස්ය. ෂරීස් නීති උපාධිධාරී ශිෂ්‍යාවක මෙන්ම ආත්මාරක්ෂක සටන් ශිල්පිණියකි.

මැසචුසෙට් ජනපදය නියෝජනය කරමින්, පළමු කොංග්‍රස් මණ්ඩල සාමාජිකාව ලෙස තේරී පත් වී සිටින්නේ, ඩිමොක්‍රටික් පක්ෂයේ අයන්නා ප්‍රෙස්ලිය. ටෙක්සාස් ජනපදය නියෝජනය කරමින්, ඩිමොක්‍රටික් පාක්ෂිකයන් වන පළමු වරට ලතින් ඇමෙරිකානු සම්භවයක් සහිත කාන්තාවන් දෙදෙනකු වෙරොනිකා එස්කොබාර් සහ සිල්වියා ගාර්සියා කොංග්‍රස් මණ්ඩලයට තේරී පත්වී සිටිති.

කනැනිකට් ජනපදය නියෝජනය කරමින්, කොංග්‍රස් මණ්ඩලයට තේරී පත් වූ පළමු අප්‍රිකානු ඇමෙරිකානු කාන්තාව ජොහානා හේස්ය. ටෙනිසී ජනපදය නියෝජනය කරමින් සෙනෙට් මණ්ඩලයට තේරී පත් වුණු පළමු කාන්තාව බවට පත් වී සිටින්නේ රිපබ්ලිකන් පාක්ෂික මාෂා බ්ලැක්බර්න්ය.

අයෝවා ජනපදය නියෝජනය කරමින්, කොංග්‍රසයට තේරී පත් වුණු පළමු කාන්තාවන් දෙදෙනා වන්නේ, රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන ඇබී ෆින්ක්නෝර් සහ සින්ඩි අක්ස්නීය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS