කිම් ජොන් උන්ගෙන් ‘ලස්සන’ ලිපියක්



උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගෙන් තමන්ට ‘ලස්සන’ ලිපියක් ලැබුණැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

ඇමෙරිකා ජනපතිවරයා සහ උතුරු කොරියා නායකයා අතර ලිපි ගනුදෙනු පවතී. නායක කිම් ජොන් උන්ගෙන් ලැබෙන සෑම ලිපියක්ම, සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් ලියා තිබෙන්නේ නම්, ට්‍රම්ප් පවසන්නේ කිම් ජොන් උන්ගෙන් තමන්ට ‘ලස්සන’ ලිපියක් ලැබුණැයි කියාය.

පසුගිය පෙබරවාරියේ ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර දෙවැනි හමුව, වියට්නාමයේ හැනොයි අගනුවරදී පැවැත්විණි. න්‍යෂ්ටික අවිහරණයක් සිදු කරන බවටත් සාමයට කැමැති බවටත් උතුරු කොරියා නායකයා ප්‍රතිඥා දී තිබේ. ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර පළමු හමුව පැවැත්වූයේ 2018 ජූනි 12 වැනිදාය.

කෙසේ නමුත් තමන් අපේක්ෂා කරන අයුරින් උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණය සිදු නොවන බවට හැනොයි හමුවේදී ඇමෙරිකා ජනාධිපතිවරයාත්, ඊට සහභාගී වුණු ඇමෙරිකන් නියෝජිත පිරිසත් චෝදනා නගන්න විය.

තමන් න්‍යෂ්ටික අවිහරණය ආරම්භ කළ බැවින් පනවා ඇති සම්බාධක ඉවත් කරන්නැයි හැනොයි හමුවේ දී උතුරු කොරියා නායකයා ඇතුළු ඔහුගේ නියෝජිතයන් ඉල්ලීමක් කළත්, එම ඉල්ලීම ඇමෙරිකා ජනපති ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව, හැනොයි සමුළුව අසාර්ථක විය.

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගෙන් තවත් ‘ලස්සන’ ලිපියක් තමන්ට ලැබුණු බව ට්‍රම්ප් කියා සිටියේ හැනොයි හමුවෙන් පසු උතුරු කොරියාවත් ඇමෙරිකාවත් අතර යහපත් සබඳතා තවමත් පවතින බව පෙන්වා දෙමිනි.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS