කළු පෙට්ටියෙන් රහස් සොයයි



කඩා වැටුණු ඉතියෝපියා මගී ගුවන් යානයේ, පියසැරි දත්ත ඇතුළත් කළු පෙට්ටිය හමුවී ඇති බවත්, යානය කඩා වැටීමට හේතුව සෙවීමේ පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බවත් ඉතියෝපියානු ගුවන් බලධාරීහු කියති.

ගුවන් යානය ඉතියෝපියාවේ අඩිස් අබාබා ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වී මිනිත්තු 6 ක් යද්දී කඩා වැටුණේ පසුගිය 10 වැනිදා, ඉතියෝපියාවේ වේලාවෙන් උදෑසන 8.44 ටය. යානය අසල්වැසි කෙන්යාවේ නයිරෝබි නුවර බලා පියාසර කිරීමට නියමිතව තිබුණි. යානය කඩා වැටුණේ අඩිස් අබාබා අගනුවර සිට කිලෝ මීටර් 600 ක් දුරින් පිහිටි බිෂොෆ්ටු නගරයට නුදුරින් ස්ථානයකටය. යානයේ 157 දෙනකු සිටි අතර ඔවුහු සියල්ලෝම අනතුරින් ජීවිතක්ෂයට පත් වූහ.

පියසැරි දත්ත සටහන් ඇතුළත් කළු පෙට්ටියෙන් ලබා ගත් මූලික තොරතුරු අනුව, යානයේ දෝෂයක් හටගත් බව පෙනී ගොස් ඇතැයි බලධාරීහු පවසති. යානය කඩා වැටෙන්න මිනිත්තු කීපයකට පෙර, නියමුවන් අඩිස් අබාබා ගුවන්තොටුපොළ බලධාරීන්ට පවසා ඇත්තේ යානයේ දෝෂයක් හටගත් බවත්, යානය ආපසු හරවාගෙන පැමිණෙන බවත්ය. ඒ වනවිට යානය අඩි 9,000 ක් ඉහළින් පියාසර කරමින් තිබුණු බව ද පැවැසෙයි.

ඉතියෝපියානු යානයේ අනතුරත් සමඟ බෝයිං ගුවන් සමාගමේ ‘බෝයිං 737 මැක්ස් 8’ ගුවන් යානා සම්බන්ධයෙන් බියක් හටගෙන ඇති අතර රටවල් රැසක් ඔවුන් භාවිතයට ගන්නා ‘බෝයිං 737 මැක්ස් 8’ වර්ගයේ යානා ගුවන් ගමන් වලින් ඉවත් කර ඇති බව ද පැවැසෙයි. ‘බෝයිං 737 මැක්ස් 8’ යනු බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම 2017 වසරේදී හඳුන්වා දෙනු ලැබූ නවතම ගුවන් යානයයි.

කඩා වැටුණු ‘බෝයිං 737 මැක්ස් 8’ වර්ගයේ ඉතියෝපියානු ගුවන් යානය, භාවිතයට ගෙන ඇත්තේ පසුගිය 2018 වසරේ ඔක්තෝබරයේය. ඉතියෝපියානු ගුවන් සේවයට එක් වී තිබුණු නවතම ගුවන් යානයක් ලෙස මෙය යැයි ද පැවැසෙයි. ආරක්ෂාව අතින් සහ ගුණාත්මක සේවාවක් අතින් ඉතියෝපියානු ගුවන් සේවය ඉදිරියෙන් සිටින බව ද පැවැසෙයි. අප්‍රිකා මහද්වීපයේ ප්‍රධානතම ගුවන් සේවය ලෙස සැලකෙන්නේ ද ඉතියෝපියානු ගුවන් සේවයයි.

ගුවන් යානයේ සිටි 157 දෙනාගෙන් නියමුවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණණ 8 කි. යානයේ මගීන් අතර රටවල් 30 ක වැසියන් සිට ඇති බවත්, ඔවුන්ගෙන් වැඩිදෙනා එක්සත් ජාතීන්ගේ සහන සේවකයන් සහ නියෝජිතවරුන් බවත් විදෙස් පුවත් සේවා පවසයි. ජගත් රතු කුරුස සංවිධානයේ සාමාජික සාමාජිකාවන් පමණක් නොව විදෙස් සංචාරකයන් ද යානයේ සිට ඇත.

එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සහ සහන සේවකයන් කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ විශේෂ හමුවකට සහභාගී වීමට යමින් සිටි බව ද පැවැසෙයි.

කඩා වැටුණු යානයේ ප්‍රධාන නියමුවා යාරෙඞ් මුලුගෙටා කෙන්යානු සහ ඉතියෝපියානු සම්භවයක් සහිත අයෙකි. මොහු ඉතියෝපියානු ගුවන් සේවයට සම්බන්ධ වී ගුවන් නියමුවකු ලෙස කටයුතු කරන්නේ 2007 වසරේ සිටය. යාරෙඞ් මුලුගෙටා ගුවන් පැය 8,000 ක් සම්පූර්ණ කළ ඉතා පළපුරුදු ගුවන් නියමුවෙකි.

යානයේ සිටි මගීන්ගෙන් කෙන්යානුවන් 32 ක් ද, කැනඩා ජාතිකයන් 18 දෙනකු ද, ඉතියෝපියානුවන් 9 දෙනකු ද, බි‍්‍රතාන්‍ය ජාතිකයන් 7 දෙනකු ද සිටින බව පැවැසෙයි.

ඊට අමතරව ඇමෙරිකානුවන් 8 දෙනකු, චීන ජාතිකයන් අට දෙනකු, ඉතාලි ජාතිකයන් පස් දෙනකු, ප්‍රංශ ජාතිකයන් හත් දෙනකු, ඊජිප්තු ජාතිකයන් 6 දෙනකු, ජර්මන් ජාතිකයන් 4 දෙනකු, ඉන්දියානුවන් 4 දෙනකු, ඔස්ටි්‍රයානුවන් තිදෙනතකු ද, ස්වීඩන්, ස්පාඤ්ඤ, ඊශ්‍රායල, මොරොක්කෝ, පෝලන්ත ජාතිකයන් දෙදෙනා බැගින් ද, බෙල්ජියම, ජිබුර්ටි, ඉන්දුනීසියා, මොසැම්බික්, රුවන්ඩා, සෞදි අරාබිය, සුඩානය, සෝමාලියාව, සර්බියාව, උගන්ඩාව, යේමනය සහ නේපාලය යන රටවලින් එක් අයකු බැගින් ද යානයේ සිටි ඇති බව ද පැවැසෙයි.

 


RECOMMEND POSTS