උතුරු කොරියාව න්‍යෂ්ටික කටයුතු අතහැරලා නැහැ



න්‍යෂ්ටික අවිහරණය වෙනුවෙන්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් කැපවී සිටින බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අවධාරණය කළත්, උතුරු කොරියාව තවමත් ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු අතහැර නැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ බව පෙන්වා දුන්නේ, සාමාජික රටවල් 15 කින් සමන්විත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිකුත් කළ නව වාර්තාවක් මගිනි.

උතුරු කොරියාව රහසේ න්‍යෂ්ටික අවි නිපදවීම සිදු කරන බවත්, දිගු දුර බැලැස්ටික් මිසයිල රහසේ ගබඩා කිරීමට පටන්ගෙන ඇති බවත් බුද්ධි තොරතුරු අනුව සකස් කළ එම වාර්තාවේ සඳහන් වෙයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මෙම වාර්තාව නිකුත් කළේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර පැවැත්වීමට නියමිත දෙවැනි හමුවට සියලු කටයුතු සූදානම් වෙද්දීය. ඇමෙරිකාව ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටකි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර දෙවැනි හමුව මෙම පෙබරවාරිය අවසන් වීමට පෙර සිදුවනු ඇති බවත්, නායකයන් දෙදෙනා හමුවනු ඇත්තේ වියට්නාමයේදී බවත් පැවැසෙයි. කෙසේ නමුත් හමුවන ස්ථානය මෙතෙක්  නිල වශයෙන් නිවේදනය කර නැත.

ඇමෙරිකා ජනාධිපති සහ කොරියන් නායකයාගේ පළමු හමුව පැවැත්වූයේ පසුගිය ජූනි මාසයේ සිංගප්පූරුවේදීය. එම හමුව සාර්ථක කර ගැනීමට දකුණු කොරියාව පමණක් නොව, චීනය ද සහාය දැක්වීය.
උතුරු කොරියා නායක කිම් ජොන් උන් සාමය වෙනුවෙන් කැපවී, න්‍යෂ්ටික අවිහරණයට පෙළඹී සිටින නමුත්, උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණ කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කරන තුරු උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක කිසිවක් ලිහිල් නොකරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අවධාරණය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS