ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 11 වැනිදා



ඉන්දීය මහ මැතිවරණය (ලෝක් සභා මැතිවරණය) ලබන අප්‍රේල් 11 වැනිදා සිට මැයි 19 තෙක් අදියර 7 ක් යටතේ පැවැත්වෙන බවත්, ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මැයි 23 වැනිදා සිදුවනු ඇති බවත් ඉන්දීය මැතිවරණ කොමිසම පවසයි.

ඉන්දීය මැතිවරණ කොමසාරිස් සුනිල් අරෝරා නවදිල්ලි අගනුවර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්, 17 වැනි ලෝක් සභා මැතිවරණයේ කටයුතු සිදුවන අයුරු පැහැදිලි කළේය.

අවුරුදු 18 ට වැඩි මිලියන 900 කට ආසන්න පිරිසක්, ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බවත් ඒ වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන මිලියනයක ප්‍රමාණයක් ස්ථාපිත කරනු ඇති බවත් මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේය.

ලෝක් සභා මැතිවරණයට සමගාමීව, අන්ද්‍රා ප්‍රදේශ්, සික්කිම්, අරුණාචල් සහ ඔඩිෂා යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණය ද පැවැත්වෙයි. අර්බුදයට ලක් වී ඇති ජම්මු කාශ්මීරයේ මැතිවරණ කටයුතු පැවැත්වෙන්නේ නැති බව ද මැතිවරණ කොමසාරිස්වරයා වැඩි දුරටත් කියා සිටියේය.

පසුගිය 2018 වසරේ ජම්මු කාශ්මීර ප්‍රාන්ත රජය බිඳ වැටුණු අතර, එදා සිට තවමත් ජම්මු කාශ්මීරය මධ්‍යම රජයේ පාලනය යටතේ පවතී.
මැතිවරණය පැවැත්වෙන්නේ ඉන්දීය ලෝක් සභාව එසේත් නැතිනම් ඉන්දීය මහ මැතිවරණයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිතයන් 545 න් 543 ක් තෝරා ගැනීමටය. ඉතිරි ආසන දෙක යුරෝපීය සම්භවයක් සහිත ඇන්ග්ලෝ ඉන්දියානු ප්‍රජාව වෙනුවෙන් වෙන් වී පවතී. මෙම ආසන දෙක සඳහා නියෝජිතයන් පත් කිරීම සිදුවන්නේ ඉන්දීය ජනාධිපතිවරයාය.

පළමු අදියර අප්‍රේල් 11 වැනිදාත්, දෙවැනි අදියර අප්‍රේල් 18 වැනිදාත්, තෙවැනි සහ සිවුවැනි අදියර අප්‍රේල් 23, 29 ත්, පස්වැනි අදියර මැයි 6 වැනිදාත්, 6 වැනි අදියර මැයි 12 වැනිදාත්, 7 වැනි සහ අවසන් අදියර මැයි 19 වැනිදාත් පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටී.

ඉන්දියාවේ මැතිවරණ කටයුතු පැවැත්වෙන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයකට අනුවය. ඡන්ද දායකයාගේ අනන්‍යතාව තහවුරු කිරීම වෙනුවෙන් වෙනම වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් එමගින් ඡන්ද අක්‍රමිකතා කිසිවක් සිදු නොවනු ඇති බවත් මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.

2014 වසරේ පැවැති මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයක් හිමිකර ගනිමින් බලයට පත් වුණු දක්ෂිණාංශික භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය සහ අගමැති නරේන්ද්‍ර මෝදි යළිත් අගමැති ධුරය වෙනුවෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙයි. අගමැති මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට අභියෝග කරන්නේ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයයි.

කොංග්‍රස් පක්ෂය යළිත් වරක් පහසුවෙන් පරදවන බව, හින්දු ජාතිකවාදී පක්ෂයක් ද වන භාරතීය ජනතා පක්ෂය පවසා ඇත. 2014 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණයෙන් මෝදිගේ භාරතීය ජනතා පක්ෂය තනිව ආණ්ඩුවක් පිහිටුවීය. තනිව ආණ්ඩුවක් පිහිටුවීමට නම්, ආසන 272 සීමාව පසු කළ යුතු වෙයි.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS