ඉන්දියාවේ පළාතක් අයි.එස්. ත්‍රස්ත ග්‍රහණයේ



උතුරු ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ, පළාතක් තම ග්‍රහණයේ පවතින බව අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය කියයි.

අයි.එස්. ත්‍රස්ත සංවිධානය මේ බව කියා සිටියේ, ඉකුත් 10 වැනිදා ඔවුන්ට අයත් ‘අමාක්’ පුවත් සේවය හරහාය. පළමු වරට ඉන්දියාවේ පළාතක් තම ග්‍රහණයට ගත් බව අයි.එස්. සංවිධානය නිකුත් කළ එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.

ත්‍රස්ත සංවිධානය සිය අණසකට ගත් ජම්මු කාශ්මීරයේ මෙම පළාත ‘වාදියා ඔෆ් හින්ද්’ එසේත් නැතිනම් ‘හින්ද්’ පළාත යනුවෙන් නම් කරනු ලැබ ඇත. අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ‘හින්ද්’ පළාත ඔවුන්ගේ පාලන ප්‍රදේශයක් බව පැවැසීමත් සමඟ ඉන්දීය රජය එම පළාතේ වැටලීම් රැසක් සිදු කළ බව ද වාර්තා වේ.

හින්ද් පළාතේ අම්ෂිපෝර් නගරයේ ඊයේ (11) සිදු කළ මෙහෙයුමකදී අයි.එස්. සාමාජිකයකු බව ඉෂ්ෆාක් අහ්මද් සෝෆි නමැත්තා ඇතුළු තවත් ත්‍රස්තවාදීන් කිහිප දෙනකු මරා දැමීමට තමන්ට හැකිවුණු බව ඉන්දීය හමුදාව පවසා ඇත.

ඉන්දු කාශ්මීරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්ත කණ්ඩායම්වල සහාය අයි.එස්. සංවිධානයට හිමිවන බව ඉන්දීය හමුදාව වැඩිදුරටත් කියා සිටී.

අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ගේ නැගී සිටීම සිදුවූයේ 2015 සහ 2016 අතර කාලයේ, ඉරාකයේ සහ සිරියාවෙනි. මොවුහු ඉරාකයේ සහ සිරියාවේ අල්ලා ගත් පළාත් එක් කරමින් ‘ඉස්ලාමීය රාජ්‍යයක්’ පිහිටුවා ගත්හ. අයි.එස්. ඉස්ලාමීය රාජ්‍යයේ (කලීෆා) නායකයා එසේත් නැතිනම් කලීෆ්වරයා වන්නේ අබු බකර් අල් බැග්ඩෑඩිය. අද වනවිට ඉරාකයෙන් සහ සිරියාවෙන් අයි.එස්. ත්‍රස්තවාදීන් අඩපණ කිරීමට හැකිවී තිබේ.

ත්‍රස්තවාදීන් අඩපණ කිරීමේදී, ඉරාක රජයට ඉරානයෙත්, කුර්දිස්තාන පළාතේ කුර්දිවරුන්ගේත්, ඇමෙරිකාවේත් සහාය හිමිවිය. සිරියානු රජය අයි.එස්. ත්‍රස්තවාදීන් අඩපණ කළේ රුසියාව, ඉරානය සහ තුර්කිය දුන් සහාය අනුවය. ඇමෙරිකාව ද පොදු සතුරා අයි.එස්. සේ සළකා ඊට එරෙහිව ක්‍රියා කළේ, කුර්දිවරුන් සමඟ එක් වෙමිනි.

ඉස්ලාම් රාජ්‍යය බිඳ වැටීමෙන් පසු, තම ඉස්ලාමීය රාජ්‍යය ලොව පුරා පතුරුවන බවට අයි.එස්. සංවිධානය අනතුරු අඟවා ඇත. පසුගිය පාස්කු ඉරිදා (21) ශ්‍රී ලංකාවේ සිදු කළ බෝම්බ ප්‍රහාරයේ වගකීම අයි.එස්. ත්‍රස්තයන් බාරගත් අතර, වසර පහක නිහැඬියාවකින් පසු සැඟවී සිටි නායක අල් බැග්ඩෑඩි වීඩියෝ පණිවුඩයකින් කියා සිටියේ තම සංවිධානය ලෝකය අල්ලා ගන්නා බවත්, බිහිසුණු ප්‍රහාර රැසක් එල්ල කිරීමට සැලැසුම් කර ඇති බවත්ය.

කාශ්මීරයේ ජාතිකවාදී අදහස් ඇති ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්ත කල්ලි රැසක් ක්‍රියාත්මක වෙයි. මෙම ඉස්ලාමීය ත්‍රස්ත කල්ලිවලට පාකිස්තාන රජයේත් එරට අයි.එස්.අයි. බුද්ධි අංශයේත් සහාය හිමිවන බව ඉන්දියාව පමණක් නොව ඇමෙරිකාව ද චෝදනා කර තිබේ. මෙම බෙදුම්වාදී ඉස්ලාමීය ත්‍රස්ත කල්ලිවලට අයි.එස්. සංවිධානයේ සහාය හිමිවුවොත් එය බිහිසුණු ප්‍රතිඵල අත්පත් කර දෙනු ඇතැයි ජගත් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

අයි.එස්. සංවිධානයට ජාතිකවාදී අදහස් නොමැති බවත්, ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ ලෝකය අල්ලා ගැනීමට බවත් දේශපාලන විශ්ලේෂකයෝ වැඩිදුරටත් පැහැදිලි කරති. අයි.එස්. සංවිධානය මුදල් අතින් පමණක් නොව ආයුධ අතින් ද හොඳින් සන්නද්ධ වී සිටී. ජාතිකවාදී අරමුණු ඇති ඉස්ලාමීය ත්‍රස්තවාදීන් එක් කර ගනිමින්, සාමාජිකයන් බඳවා ගැනීම අයි.එස්. සංවිධානය මේ වනවිට සැලැසුම් ආරම්භ කර ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ කියති.

නවදිල්ලියේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS