ඉතාලියෙන් ආසාදිතයෝ දස දහසක්



ඉතාලියෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් 10,000 ඉක්මවා වාර්තා වී ඇතැයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඉතාලියෙන් අවසන් පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 10,010 දෙනකු හඳුනාගෙන ඇති අතර එය දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන ද වේ.

අවසන් පැය 24 දී ඉතාලියෙන් වයිරස ආසාදිත මරණ 55ක් ද වාර්තා වී තිබේ. ඉතාලියෙන් අවසන් දින ත්‍රිත්වයේදී ම දෛනික වාර්තා ගත ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇතැයි ද එරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඉතාලිය තුළ වයිරසයේ උච්ඡතම අවස්ථාව පැමිණියේ ඉකුත් මාර්තු මාසයේදී ය. එම කාලයේදී දිනක් ඇතුළත එරටින් වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන 6,557ක් විය.

අවසන් දිනයේදී ඉතාලියේ කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ගණන 150,000 ඉක්මවයි.

ඉතාලියෙන් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 391,000 ඉක්මවන අතර එරටින් වාර්තා වන මරණ ගණන 36,427කි.

මේ අතර යුරෝපය තුළ දෛනික වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණනේ ශීඝ්‍ර වැඩිවීමක් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS