ඇමෙරිකාව සහ මාලදිවයින අතර ආරක්ෂක ගිවිසුමක්



ඇමෙරිකා එක්සත් ජනපදය සහ මාලදිවයින ආරක්ෂක ගිවිසුමට එළැඹුණු බව, ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු කලාපය සඳහා වන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් රීඩ් වර්නර් සහ මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍ය මාරියා ඩිඩි රටවල් දෙක නියෝජනය කරමින් එම ගිවිසුමට අත්සන් තැබූහ.

‘‘ආරක්ෂාව සහ ආරක්ෂක සබඳතාව සඳහා වන ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති රාමුව’’ යනුවෙන් මෙම ගිවිසුම නම් කර තිබේ.

ඉන්දීය සාගර කලාපයේ සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා සහයෝගීතාව වැඩි කරගැනීමේ අරමුණින් රටවල් දෙක මෙම ගිවිසුමට අත්සන් තබා ඇත. මෙම ගිවිසුම රටවල් දෙක අතර ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් තවත් ඉදිරි පියවරක් තැබීමක් යැයි ද නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඇමෙරිකාව සහ මාලදිවයින අතර පළමු ආරක්ෂක සංවාදය පැවැත්වීම සම්බන්ධයෙන් ද නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් රීඩ් වර්නර් සහ මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍ය මාරියා ඩිඩි සාකච්ඡා පැවැත්වූහ. කලාපයේ සියලු රටවලට ආරක්ෂාව සහ සෞභාග්‍ය ගෙනෙන අයුරින් ඉන්දු-ශාන්තිකර කලාපයේ නිදහස සහ විවෘතභාවය පවත්වාගෙන යෑමට කටයුතු කරන බව ද රටවල් දෙකම මෙහිදි අවධාරණය කළේය.

ඒ.එෆ්.පී./රොයිටර්ස්


RECOMMEND POSTS