ඇමෙරිකාවේ තුනෙන් එකක් නිවෙස්වල



ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබෙන නීතිරීති අනුව ඇමෙරිකා එක්සත් ජනපද ජනගහනයෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් නිවාසවලට සීමා වී ඇත.

ඔහියෝ, ලුසියානා සහ ඩෙලවෙයාර් ප්‍රාන්ත ද එම ප්‍රාන්තවල අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලු කටයුතු නවතා දැමීමට පියවර ගෙන තිබිණි. මේ වනවිට දැඩි සීමා පනවා ඇත. ඒ අනුව නිව්යෝක්, කැලිෆෝනියා, ඉල්නෝයි, කනෙටිකට් සහ නිව්ජර්සි යන ප්‍රාන්ත ද මීට පෙර එම ප්‍රාන්තවල වැසියන්ට ‘නිවෙස් සිටින්න’ නියෝගය පැනවීමට පියවර ගත්තේය. එම ප්‍රාන්තවල පමණක් ජීවත්වන ජනතාව මිලියන 101කි. එම ප්‍රාන්තවලට ඇමෙරිකා එක්සත් ජනපදයේ තවත් ප්‍රාන්ත රැසක් මේ වනවිට දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටී.

අද දහවල් වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන් 471ක් වූ අතර එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 35,211ක් දක්වා ඉහළ ගොස් ඇත.

ලොව රටවල් මේ වනවිට එම රටවල අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියල්ල නවතා දැමීමට පියවර ගෙන ඇති අතර ඇතැම් රටවල් ඇඳිරි නීතිය පනවා ඇත. ගමන්බිමන් සීමා කර ඇති අතර මේ සියලු ක්‍රියාමාර්ග හේතුවෙන් ලොවපුරා බිලියනයකට වැඩි පිරිසක් නිවෙස්වලට කොටු වී සිටිති. ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය මේවනවිට එම රටවල් සම්පූර්ණයෙන් වසා දැමීමට පියවර ගෙන ඇති අතර දකුණු ඇමෙරිකානු රටවල් රැසක් ද ඊට සමාන ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් සභිකයකු වන රෑන්ඩ් පෝල්ටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට පුවත් සේවා අද වාර්තා කර තිබිණි.

 නිව්යෝක්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS