පාවී ඇවිත් සැඩ සුළි සුළඟකට මම...



පාවී ඇවිත් සැඩ සුළි සුළඟකට මම
පාකින් උනේ දන්නා පුරයකය සැම
ඇවිදින් නොතිබුනත් පෙර කිසි දිනක මම
හුරු ලෙසටම දැනුනි මස්කට් කිවු විටම


ඕමානයේ කැපිටල් මස්කට් නුවර
බැලු බැලු අත පෙනේ මන්දිර මහ නගර
යාකරමින් ඇදෙන සුවිසල් මහ පාර
ඒ අසලින් තිබුනි මා ඉන්න කඳවුර

ආ විගසින්ම ලැබුනා මට කාමරය
තිබුනා ඒකෙ ටීවී ෆ්‍රිජ් කේතලය
විඳගනිමින් සිසිල ඒසී යන්තරය
වැටුනා ඇඳට ගන්නට සැප සාගරය

උදයෙම අවදි වී ගොස් පලවෙනි දවසේ
ඇරියා නාන කාමර දොර මගෙ නිවසේ
එවිටම ඇරුනි වැසිකිලි දොර අනෙක් පසේ
හදුනා ගතිමි සහකරු අල්ලපු නිවසේ

 

මලබරියෙකු විලස දුටුවත් ගතින් ඔහු
කඩ්ඩෙන් අහුවෙ කොහොමද බොල කියල ඔහු
කඩ්ඩෙන් මමත් උත්තර දුන්නාට පහු
තේරුම් ගියා ඩබලම එක ලෙල්ලෙ කොහු

 

කන්නට ගිය විටදි ඒ මහ කැන්ටිමට
හැම් බේකනුයි චීසුයි තිබුනි කන්නට
කරවල සම්බෝල එළවලු කාපු ම‍ට
දැනුනේ ගියාමෙන් පස්තරු දන්සලට

 

වැඩුනත් දෙතිස් අවුරුද්දක් දැන හසර
දැනගෙන උන්නෙ නෑ මැදපෙරදිග කතර
ගෙන්නූ එකයි තව උන් අතරින් පතර
දුනි අවවාද දැනමුතුකම් හය හතර

 

හිරකරුවෙකු විලස කලියෙන් උන්නු මම
නිදහස් උන ලෙසයි දැනුනේ ආවහම
කොන්ඩෙත් රැවුල හා ඇඟ හැම මයිලක්ම
වැවුනා ඔහේ විඳගනිමින් නිදහසම

 

තිබ්බේ වැඩ කරන්නට ගුවන් තොටුපලේ
තුර්කියෙ සුදු හමයි ඒ ගේම රන් කලේ
හෙල්මට් කබා ඇඳගෙන  එලි බැස්ස වෙලේ
එවෙ‍ලේ ඉඳන් පැය එකොලහකි වැඩකලේ

 

විස්සක් විතර උනි සිංහල කියන්නට 
දෙන්නයි උන්නෙ බවලත් උදවිය නමට
සෙට් එක පිටින් විත් බැස්සහම ගේමට
කවුරුත් සැලෙන්ඩර් අපෙ වැඩකිඩ වලට

 

පැය එකොලහක් අවසානයෙ වැඩකරලා
හවසයි තැනට එන්නේ හිටි කඳවුරුලා
ඉඩ ලැබුනාම කට්ටිය සෙල්ලම් කරලා
ඉඳ හිට දැම්ම ජොලියක් මීවිත බීලා

 

සතියට දින එකයි ඇත්තේ නිවාඩුව
එනකල් ඉන්නෙ එදිනට පෙර හැන්දෑව
හොද්දක් බතක් හා බයිටක් පෙරදැරිව
සාදය ගියා පහුවන තුරු තුන් වරුව 

 

ගතවුනි දෑවුරුද්දක් මේ විලසින්නේ
නිමඋනි වැඩ බිමේ කටයුතු විගසින්නේ
යන්නට හැරදමා තව ටික දොහකින්නේ
වෙනබව තමයි කොයි කවුරුත් දැන උන්නේ

 

බාගෙට හැදුන වැඩ නිම නැති මන්දිරය
දින දින මිල නගින මොටර් යන්තරය
මේටික ගොඩ ගන්ට යයි කල් කප්පරය
එනමුත් යන්න කිවු විට කෙලි කෙලවරය 

 

අවුලක් හිතේ නැති වග පෙන්නුවත් හැම
යන දින ගැනයි මිමිනුවෙ හැම මොහොතකම
මසුරන් පඩිය නැතිවන බව දැන දැනම 
සුපසන් සිතින් ගමරට යන්නද කොහොම

 

හිත දුක් උනත් හිත මිතුරන් හැර යන්ට
සතුටකි මම ඒම මගෙ අඹු දරුවන්ට
හැමදාටම මගේ සෙනෙහස ගෙන දෙන්ට
ඉඳපන් මැණිකෙ ඉඳපන් හනිකට එන්ට

 

මාධව රත්නායක
මස්කට්
ඕමාන්


RECOMMEND POSTS