ඔබාමාගේ දෙනෙතට කඳුළු ගෙනා සය හැවිරිදි දරුවාගේ ලිපිය



 

 

(ඔම්රාන් දක්නිෂ්ගේ ඡායාරූපය)

පසුගිය අගෝස්තු මාසයේදී සිරියාවේ ඇලෙප්පෝ නගරයට එල්ලවූ දරුණු ගුවන් ප්‍රහාරයෙන් තුවාල ලත් පස් හැවිරිදි ඔම්රාන් දක්නිෂ් දරුවාගේ ඡායරූපය ලෝකයම කම්පාවට පත්කළ බව නොරහසකි.

ගුවන් ප්‍රහාරයකට ලක් ව දිවි බේරා ගත් එම සිරියානු දරුවා ඔම්රාන් දක්නීෂ් ලේ සහ දූවිලි පෙරාගෙන තුෂ්ණිම්භූතව සිටින ඡායාරූපය මීට සති කිහිපයකට පෙර මුළු ලොවම කම්පා කළේය. 

ගුවන් ප්‍රහාරවලින් ඔහුගේ නිවස මුළුමනින්ම සමතලා වුණු බවත් මව සහ පියා ඇතුළු පවුලේ සෙසු සාමාජිකයන් සියල්ල මියගිය බවත් පසුව වාර්තා විය. 

ගුවන් ප්‍රහාරය එල්ල වුණු අවස්ථාවේදී දක්නීෂ්ගේ දස හැවිරිදි සොහොයුරා බරපතළ තුවාල ලැබුවේය. දින තුනකට පසුව දැනගන්න ලැබුණේ ඔහු මියගිය බවය. 

සුන්බුන් අතරින් බේරා ගත් ඔම්රාන් දක්නීෂ්ගේ ගිලර් රියක අසුන් ගෙන එම ඡායාරූපය ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවේ ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍ය ආධාරකරුවන් විසිනි.

සිරියානු සිවිල් යුද්ධයේ කෘෘරත්වය එම ඡායාරූපයෙන් මොනවට පැහැදිලි විය. යුද්ධයේ සංත්‍රාසය නතර කළ හැක්කේ කෙසේදැයි නැවතත් ලෝකයා  කල්පනා කරන්නට පටන් ගත්තේ එම ඡායාරූපය දැකීමෙන් පසුවය.

පස් හැවිරිදි ඔම්රාන්ගේ එම ඡායාරූපය ඇමෙරිකාවේ නිවයෝක් නගරයේ සකාර්ස්ඩේල්හි පදිංචි අලෙක්ස් නමැති සය හැවිරිදි දරුවාගේ සිත වඩාත් කම්පනයටත් වේදනාවටත්  පත් කළේය. ඒ කම්පනයත් වේදනාවත් තුළින් ඔහු තුළ පහළ වූ මානුෂීය හැඟුම් ඔහුට තේරෙන සරල බසින් වචනයට හරවා ලිපියක් ලීවේය. ඒ අන් කවරකුටවත් නොව ලෝකයේ මහ බලවතා ලෙසින් හැඳින්වෙන තමා උපන් රටේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන බැරැක් ඔබාමාටය.

 

(සය හැවිරිදි ඇලෙක්ස්)

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, ඊයේ (22) පැවැත්වුණු සරණාගත සමුළුවේදී, ලෝක නායකයන් අමතමින් කතා කළ ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා, සය හැවිරිදි ඇලෙක්ස් තමාට එවූ එම ලිපිය  කියවමින් හැඟීම් බර විය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ලිපිය කියවද්දී ඔබාමාගේ නෙත් කඳුළින් තෙත් වුණු බවය. සමුළුවට මැදපෙරදිග, අප්‍රිකා සහ සෙසු ලොව ප්‍රබල රටවල රාජ්‍ය නායකයෝ සහ නියෝජිතයෝ සහභාගී වූහ.

ඇලෙක්ස් ලියූ ලිපියෙහි මෙසේ සඳහන් වෙයි. ‘ජනපතිතුමනි, ඔබට මතකද අර සිරියානු දරුවා ? ගිලන් රථයක වාඩිවෙලා සිටි කෙනා ? එයාගේ අම්මා තාත්තා නැහැ. පවුලේ වෙන කවුරුවත් නැහැ. අපි කැමතියි එයා හදා ගන්න. අපේ පවුලේ කෙනෙක් කර ගන්න. මං එයාට අයියා කෙනෙක් වෙන්න කැමතියි.  කරුණාකරලා එයා අපේ ගෙදරට ගෙනල්ලා දෙනවාද ? මමයි මගේ නංගි කැතරින් එක්ක එයා හොඳින් බලා ගන්නම්. සෙල්ලම් කරන්නම්’

 

(ඇලෙක්ස් ජනාධිපති ඔබාමාට ලියූ ලිපිය)

ලිපිය කියවා අවසන් කළ ඔබාමා කියා සිටියේ සිරියානු සිවිල් යුද්ධය අවසන් කරමින්, එරටට සාමය උදා කර දීමට පටු අරමුණු පසෙකළා සැවොම එක් විය යුතු බවය. ඇමෙරිකා ජනපති ලෙස තමා මෙම වසරේ දී ධුරයෙන් සමුගන්නා බව පවසමින් ඔබාමා වැඩි දුරටත් කියා සිටියේ සිරියානු අර්බුදයට ස්ථිර සාම වැඩපිළිවෙළක් සකස් කිරීමට නොහැකි වීම ගැන කනගාටු වන බවය.

‘ඇලෙක්ස් එවූ එම ලිපිය මනුෂ්‍යත්වය යළිත් වරක් අපට පසක් කර දීමට හේතුවක් වුණා’ යැයි ද ඔබාමා වැඩි දුරටත් කියා සිටී. කෙසේ නමුත් ඔම්රාන් දක්නීෂ් ඇමෙරිකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඔබාමා කිසිවක් පැවැසුවේ නැත.

ඇලෙක්ස්ගේ එම ලිපිය මේ වනවිට විඩියෝ දසුන් පෙළක් හරහා ප්‍රධාන පුවත් නාළිකා සියල්ලේම විකාශය වී අවසන්ය.

සිරියාවේ පමණක් නොව, සෙසු මැද පෙරදිග, සිවිල් ගැටුම් සහ දේශපාලන අර්බුද හේතුවෙන් උන්හිටිතැන් අහිමි වුණු මිලියන 65.3 කට වැඩි සරණාගතයන් සහ අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් මෙම සරණාගත සමුළුවේදී සාකච්ඡා පැවැත් විණි. සංක්‍රමණික සහ සරණාගත අර්බුදය සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ සමහා මණ්ඩල සැසියකදී, විශේෂ සැසියක් පැවැත් වුණේ පළමු වරටය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දී සිටින දරුණුතම සරණාගත සහ සංක්‍රමණික අර්බුදය මෙය යැයි ද පැවැසෙයි. මෙම අර්බුදයට මුහුණ දී සිටින්නේ අප්‍රිකා සහ මැදපෙරදිග රටවල වැසියන් සහ යුරෝපා රටවල වැසියන්ය.

(ඔබාමා සරණාගතයන් පිළිබඳ සමුළුව අමතමින්)

සිරියාවේ යුද ගැටුම් හේතුවෙන් එරට හරි අඩක් පමණ මේ වනවිට යුරෝපා රටවලට පලා ගොස් ඇතැයි වාර්තා වේ. නීතිවිරෝධී සංක්‍රමනිකයන් ලෙස පැමිණෙන මෙම සිවිල් වැසියන්ට තාවකාලිකව නවාතැන් ලබා දීමට යුරෝපා රටවල් පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ. 

සිරියානු අර්බුදයට ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා වගකිව යුතු බවත්, සිරියාවේ සිවිල් යුද ගැටුම් ආරම්භ වී, අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය ලොව ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් බවට පත් වූයේ ඔබාමාගේ වරදින් බවත් බොහෝ දෙනා චෝදනා කරති. එසේ චෝදනා කරන පිරිස් අතරේ, රිපබ්ලිකන් පක්ෂ ජනපති ධුර අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් ද වෙයි.

සිරියානු අර්බුදය ආරම්භ වූයේ, බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන එරට ජනපති බෂීර් අල් අසාද්ට එරෙහිව විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් අවි අතට ගෙන සටන් වැදීමත් සමඟය. ඉරාකයෙන් ආ අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන් එම විපක්ෂ කණ්ඩායම්වලට එක් විය. ඇමෙරිකා ජනපති ඔබාමා සහ බි්‍රතාන්‍ය අගමැති ලෙස කටයුතු කළ ඬේවිඞ් කැමරන් එක් වී, ගුවනින් විපක්ෂ කණ්ඩායම් වෙත අවි ආයුද ලබා දීමට තීරණය කළහ. ඒ, ඔබාමාගේ පළමු ධුර කාලයේදීය. ඒ වනවිට ඔබාමාගේ රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළේ හිලිරි ක්ලින්ටන්ය. මෙවර ජනපතිවරණයේ දී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා හිලරි ක්ලින්ටන් ය.

 


RECOMMEND POSTS