දරුවා ප්‍රසූත කරලා විභාගයත් ලියලා



ඉතියෝපියා තරුණියක්, ඇගේ දරු ප්‍රසූතියෙන් මිනිත්තු තිහකට පසු, රෝහලේ සිටියදීම විභාගයකට පෙනී සිටි බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

21 හැවිරිදි, අල්මාස් දිරේස් නමැති එම තරුණිය පෙනී සිට ඇත්තේ වාර්ෂිකව පැවැත්වෙන ද්විතීක පාසල් විභාගයටය. ඇය එම වසරේ මෙම විභාගයට පෙනී නොසිටියා නම්, තවත් වසරක් බලා සිටීමට සිදුවනු ඇතැයි ද පැවැසෙයි. අල්මාස් දිරේස් බටහිර ඉතියෝපියාවේ ඔරෝමියා පළාතේ තරුණියකි. ඉතියෝපියාව යනු අප්‍රිකාවට අයත් දිළිඳු රාජ්‍යයකි.

ගණිතය, ඉංග්‍රීසි, අම්හාරික් නමැති ඉතියෝපියා භාෂාව යන විෂයයන්ට අදාල පත්‍ර තුනකට අල්මාස් දිරේස් පිළිතුරු දුන්නේ අධ්‍යාපන සහ රෝහල් බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රෝහල් ඇඳේ සිටය.

අල්මාස් දිරේස් තරුණ මව මෙන්ම ඇගේ බිලිඳා ද හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව රෝහල් වෛද්‍යවරු පවසති. ද්විතීක පාසල් විභාගයේ තවත් විෂයයන් සතරකට ද අල්මාස් දිරේස් පෙනී සිටීමට නියමිත බව ඉතියෝපියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඔරීමාමිදීය (බී.බී.සී.)


RECOMMEND POSTS