ශ්‍රී ලංකාව, එක්සත් ජාතින්ගේ සංවිධානයට සමීප වෙයි



බෑන් කී මූන්

 

 

“සිරිසේන ජනාධිපතිවරයාගේත්, වික්‍රමසිංහ අගමැතිවරයාගේත් නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව විසින්, දේශයේ ඉතිරි ප්‍රශ්නවලින් බොහොමයක් නිරාකරණය කරන්නට පියවර ගෙන ඇත්තේය. මෙයින් මගේ සිත ධෛර්යමත් වෙයි. රජය දිගටම, මේ මඟ යමින් යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවේ යෙදවීම ඉක්මන් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. පසුගිය හැටවස පුරා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතුවලට ප්‍රබල ලෙස සහභාගි වී ඇත්තේය.” බැන් කී මූන් මහලේකම්වරයා.

ශ්‍රී ලංකාවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් අතර සම්බන්ධතා රටාවේ විචිත්‍ර සිද්ධියක් නොබෝදා සිදුවූයේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අටවැනි මහලේකම් තැන්පත් බැන් කි මූන් මහතා ශ්‍රී ලංකා චාරිකාවක යෙදුණේය. මෙහි ඇති අමුත්ත කුමක්දැයි කෙනෙකුට සිතෙන්නට ඉඩ ඇත්තේය. එය අමුත්තක් වන්නට හේතු කිහිපයක් වෙයි.


 හැත්තෑ දෙහැවිරිදි බැන් කී මූන් මහතා දසවසක් මුළුල්ලේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් පදවියේ සිටීම 2016 යේ දෙසැම්බර් 31 වැනිදා ඒ මහතා මහලේකම් පදවියෙන් ඉවත් වෙයි.


 එක්සත් ජාතින්ගේ සංවිධානයේ පරිපූර්ණ රැස්වීම් වාරය වන මහා සම්මේලනය සැප්තැම්බර් 13 වනදා ආරම්භ වේ.


 මේ සියල්ල මැද්දේ බැන් කී මූන් මහලේකම්වරයා ශ්‍රී ලංකාවට ආයේය. පදවියෙන් සමුගන්නට තුන්මසක කෙටි කාලයක් පමණක් ඉතිරිව තිබියදී මහලේකම්වරයා ශ්‍රී ලංකා චාරිකාවක යෙදුණේ එතුමා ශ්‍රී ලංකාව කෙරේ දක්වන විශේෂ ආකල්පය නිසාය.
 ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී යුගයේ අඳුර සහමුලින්ම ඉවත් කරලන්නට ඒ මහතා කැපවී සිටී, ඒ නිසා සිය පදවිවාරය, කෙළවර වන්නට ඔන්න මෙන්න කියා තිබියදීත් බැන් කී මූන් මහලේකම්වරයා ශ්‍රී ලංකාවට අවුත් ශ්‍රී ලංකාවේ පූර්ණ සන්හිඳියාව ස්ථාපිත කොට ලන්නට උත්සුක වේ.

 

එක්සත් ජාතීන්ගේ ප්‍රධාන රැස්වීම් ශාලාව

 


 බැන් කී මූන් මහලේකම්වරයා ප්‍රථවරට ශ්‍රී ලංකාවට ආයේ 2009 යේ මැයි මාසයේදීය. ඒ චාරිකාව සිදුවූයේ ත්‍රස්තවාදී බලවේග පරාජය කළ කාලවකවානුවේදීම ය.


එතැන් පටන් මහලේකම්වරයා මේ අපගේ දේශයේ සාමය හා සන්හිඳියාව ස්ථාවර ලෙස පැවැත්වෙන තැනට ඉතා බොහෝ සේ වෙහෙසුණේය.


 1944 ජූනි මස දහතුන් වැනිදා උපත ලද බැන් කී මූන් දකුණු කොරියානු ජාතිකයෙකි. වරක් ඒ මහතා සිය දේශයේ විදේශ ඇමැතිවරයා වශයෙන්ද පත්ව සිටියේය.


 හැත්තෑ දෙවන වියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් පදවියෙන් සමුගන්නා බැන් කි මූන් මහතාට ඇතැම් විට සිය දේශයේ (දකුණු කොරියාවේ) ජනාධිපති පදවි ප්‍රාප්ත වන්නටද ඉඩකඩ ඇතිවිය හැකිය. දකුණු කොරියාව දැනට පාලනය කරනු ලබන්නේ එහි ජනාධිපති පදවි ලද ප්‍රථම කාන්තාව වන පාක් යෙසුන් හ්යෝ මහත්මිය විසිනි. බැන් කී මූන් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අටවන ජනාධිපතිවරයා බවට පත්වුණේ 2007 ජනවාරියේදීය. ඒ නිසා මහලේකම්වරයාගේ පාලන සමය වන දශවස නිමා වන්නේ 2016 දෙසැම්බර් 31 වනදායි.


 2017 ජනවාරි පළමුවන දා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවවන මහලේකම් පදවිය කාට හිමිවේද? නව වැන්නා, කාන්තාවක් වන්නටද බොහෝ සේ ඉඩ ඇත්තේය.

 

අමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය

 

 


 මේ බැන් කී මූන් මහතාට පෙර මහලේකම් පදවියේ සිටි සත්දෙනා අතුරින් එක් අයෙක් මියගියේ රාජකාරි කාලයේදීමයි. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෙවන මහලේකම් වූ ඩැග් හැමැර්ෂල්ඞ්ය. ඔහු රාජකාරි සඳහා ගුවනින් අප්‍රිකාවේ කොන්ගෝ රාජ්‍යයට ගමන් කරද්දී ගුවන් තොටුපළේ ඔහු පිළිගන්නට බලා සිටින අයට පෙනි පෙනී ඔහුගේ ගුවන් යානය ගිනි ගත්තේය. ගින්නේදී  හැමර්ෂල්ඞ් මහතා මළේය.


 ඔහු පිළිගන්නට එදා ගුවන් තොටුපළේ සිටි පිරිසෙන් එක් අයෙක් වූයේ නෙවිල් කනකරත්න නම් පාලන තන්ත්‍රවේදී ශ්‍රී ලාංකික විද්වතාය. පසුව ඔහු දකුණු පළාතේ ආණ්ඩුකාර පදවියක් ලද්දේය.


 ඩෙන්මාක් ජාතික ඩැග් හැමර්ෂල්ඞ් සිය පදවිය වෙනුවෙන් ජීවිතයත් පුද කළේය.


 එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් පදවිය ලබන තැනැන්තා ලෝක නායකයෙක් බවට පත්වන්නේය. ඒ නිසා ඔහුට “ලෝකෙම ලොක්කා” යි ජන වහරයෙන් කිව හැකිය.


 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා තේරීමේ භාරදූර කාර්යය පැවරෙන්නේ මහා සම්මේලනයටයි. එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය කෙටියන් නම් කෙරන්නේ උංගා (UNGA) වශයෙනි. 

 

ඇමෙරිකාවේ හිටපු ජනපති ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්වේල්ට්

 


අප මේ “මහා සම්මේලනය” ක්‍රියාවේ යෙදෙන ආකාරය සලකා බැලිය යුතු වේ.


 එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රධාන අංශ හයකි. ඒ මෙසේය. 

 


1. මහා සම්මේලනය
එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍ය සියල්ලේම නියෝජිතයන් එක්වන්නේ, මේ මහා සම්මේලනයේදී පමණී. අද වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුළු සාමාජික සංඛ්‍යාව 193 න් දෙනෙකි.


 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා පත්කරනු ලබන්නේ මහ සම්මේලනය විසිනි. මහලේකම් පදවිය අපේක්ෂා කරන අය ඒ පදවිය සඳහා අයැදුම් පත් එවති. ඒවා පළමුවෙන් සළකා බලනු ලබන්නේ ආරක්ෂක මණ්ඩලය විසිනි. ආරක්ෂක මණ්ඩලය විසින් අනුමත කෙරෙන අයගේ නම් මහා සම්මේලනය වෙත යවනු ලැබේ.


මෙවර 2016 යේ සැප්තැම්බර් 13 වනදා පැවැත්වෙන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ 71 වන මහා සම්මේලනයයි.


 මහා සම්මේලනයේ සාකච්ඡා වාරය ඇරඹෙන්නට පෙර 71 එක්වන මහා සම්මේලන වාරයේ සභාපති පදවිය ස්ථීර කොට ගැනේ. 2015 යේදී මහා සම්මේලනයේ සභාපති වූයේ මෝගන් ලික්කෙටොෆ්ය. ඔහු ඩෙන්මාර්ක් ජාතිකයෙකි.


 2016 වර්ෂය සඳහා පත්කරනු ලැබ සිටින්නේ ෆිජි ජාතිකයෙකු වන පීටර් තොම්සන්ය. ඔහුගේ රාජකාරි කාලය පටන් ගත්තේ 2016 යේ සැප්තැම්බර් මාසයේ සිටය.


 එක්සත් ජාතීන්ගේ ප්‍රථම මහා සම්මේලනය පැවැත් වුණේ 1946 යෙදීය. පැවැත්වුණු ස්ථානය ලන්ඩන් හි වෙස්මිනිස්ටර් මධ්‍යම ශාලාව.


 මේ කාලයේදී එය පැවැත්වෙන්නේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුලස්ථානයේයි.


 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භය ගැනද මෙහිදී වචනයක් කිව යුතුවේ. මේ යෙදුම (එක්සත් ජාතින්ගේ සංවිධානය) මුලින්ම භාවිත කරන ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ජනාධිපතිව සිටි ෆ්‍රැන්ක්ලින් ඩෙලානෝ රූස්වේල්ට් විසිනි. ඒ 1942 ජනවාරි පළමුවැනි දායි (වචනය UNITED NATIONS) ඔහු තවත් මහා ජාතීන් හතරක් හා එකතු වී එක්සත් ජාතින්ගේ සංවිධානයේ පදනම පිහිටුවා ලූවේය. (ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයට එකතු වූ අනික් හතර දෙනා නම්, බි්‍රතාන්‍යය,  ප්‍රංශය, චීනය හා රුසියාවයි) මේ පස් මහා රාජ්‍ය, මහ බලවතුන් පස්දෙනා නම් වේ. තාමත් ඒ රාජ්‍ය පහේ නියෝජිතයෝ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජිකත්වය දරති. ඔවුන්ට නිශේධ බලයද ඇත්තේය.


 මේ පස්දෙනා ඇතුළු රාජ්‍ය පනහක නියෝජිතයෝ, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේදී එක්ව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රඥාප්තිය කෙටුම්පත් කළහ. ඒ 1945 යේදීය. ඒ වන විටත් දෙවන ලෝක මහා යුද්ධයේ ගින්න දැල්වෙමින් තිබිණි.


 ප්‍රඥප්තියට අත්සන් තබන ලද්දේ 1945 හේ ජූනි 26 වනදායි. අත්සන තබන විට තවත් රාජ්‍යය එකතු වූ නිසා මුල් සාමාජික රාජ්‍ය සංඛ්‍යාව 51 ක් විය.


 ප්‍රඥාප්තියට අත්සන් කිරීමේ සිද්ධිය හා ආශ්‍රිත හාස්‍ය රසමුසු පැත්තක්ද වෙයි.


 මේ අය ඓතිහාසික ලේඛනයට අත්සන් තැබෙන්නේ සිය දේශයේදී නිසා. ඇමෙරිකාව එයින් තමන්ට ලැබෙන ගෞරවය වැඩිකරගනු පිණිස පියවරක් ගත්තේය. අත්සන් කරන නියෝජිතයන්ට වාඩිවන්නට ඇමෙරිකන් කීර්තිමත් දේශපාලනඥයෙකු විසින් භාවිත කරන ලද පුටුවක් කෞතුකාගාරයෙන් ගෙන්වා ගන්නා ලදි. ඒ පුටුව ඇමෙරිකාවේ මහා පාලන තන්ත්‍රවේදියෙකු වන ඩැනියල් වෙබ්ස්ටර් 1782-1852 විසින් භාවිත කරන ලද්දකි.


එහෙත් මෙහි සිනාවට කරුණ මෙයයි. එක්සත් ජාතින්ගේ ප්‍රඥාප්තියට අත්සන් කරන ඇතැම් අයට ඒ පුටුවේ වාඩිවිය නොහැකි විය. ඔවුන් බොහෝ සේ මහත් වී සිටි හෙයිනි. ඒ නිසා වෙන අනික් පුටුවක් ගෙන්වා ගත යුතු වූයේය.


 එක්සත් ජාතින්ගේ ප්‍රගතිය හා සමඟ එහි අංගෝපාංගද නවීකරණය වෙන්නට පටන් ගත්තේය.


එක්සත් ජාතින්ගේ සංවිධානයේ අනික් අංශ දෙසටද සි්ත යොමු කරමු.

 


 2. ආරක්ෂක මණ්ඩලය
මෙය මණ්ඩලිකයන් පසළොස් දෙනෙකුගෙන් සැදුනේය. ස්ථාවර සාමාජික රාජ්‍ය පහක් සහ වෙනස් වන සාමාජික රාජ්‍ය දහයකුත් වශයෙනි. වෙනස් වන සාමාජික තෝරාගනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය විසිනි. එහි තීරණ, සාමාජික රාජ්‍ය සියල්ල කෙරේ බලපාන්නේය. (මහා සම්මේලනයේ තීරණ සාමාජික රාජ්‍ය විසින් නොතකා හරිනු ලැබේ.)

 


3. ආර්ථික හා සාමාජික මණ්ඩලය:-
මේ මණ්ඩලයේ මුඛ්‍ය කාර්ය රටාව වන්නේ ජාත්‍යන්තර ආර්ථික ප්‍රශ්න පිළිබඳව නිරන්තර අවදියෙන් සිටීමත්, සාමාජික රාජ්‍ය උදෙසා ආර්ථික ප්‍රතිපත්ති සකස්කොට දීමත්ය. ජාත්‍යන්තර සහයෝගතා තර කිරීමත්, නිසි ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අවශය උපදේශ සම්පාදනයක් මේ අංශයේ මෙහෙයකි. මෙහි සාමාජික රාජ්‍ය සංඛ්‍යාව 54 කි.

 


4. භාරකාර මණ්ඩලය
 ස්වාධීනත්වය ලබන රාජ්‍ය නිසා ප්‍රජාතාන්ත්‍රික පාලන රටා දෙසට යොමුකොට ඒවායේ  සංවර්ධනය තහවුරු කිරීම මේ මණ්ඩලයේ වගකීම වේ. මේ මණ්ඩලයේ කාර්යදාමය සම්පූර්ණ වූ විට රාජ්‍ය සියල්ල ප්‍රජාතන්ත්‍රික මාර්ගයට පිවිසුණු විට මේ මණ්ඩලයට රාජකාරියක් නැත.

 


 5. ජාත්‍යන්තර අධිකරණය
 මෙහි මූලාසනය පිහිටියේ නෙදර්ලන්තයේ හේග්හිය. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුඛ්‍ය අධිකරණ ආයතනයයි. එය ජාත්‍යන්තර විනිශ්චයකරුවන් 15 දෙනෙකුගෙන් සැදුණේය.

 


 6. මහලේකම් කාර්යාලය
 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හදවතත් මොළයත් යන දෙකම ඒකාබද්ධ වන්නේ මහලේකම් පදවියේදීය. ඒ ඒ කාල පරිච්ජේදවලදී පත්කෙරෙන මහලේකම්වරුන්ගේ දර්ශනයද ලෝකයේ ප්‍රවණතා කෙරේ බලපාන්නේය.


 1946 යේ පටන් 2016 දක්වා මහලේකම්වරු අට දෙනෙක් වූහ. දශක හතක කාල පරිචේජේදයක් මුළුල්ලේ. මේ මහලේකම් සම්ප්‍රදායයක් මගින් පාලනය වූ ලෝකය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාර්ගෝපf්දශකත්වයෙන්, තෙවන ලෝක මහා යුද්ධයකට මූණ නොපෑවේය. එළඹෙන ප්‍රශ්න, අර්බුද හා ගැටලු අවියෙන් නොව කතා බහෙන් විසඳා ගන්නට හුරුදු වූ සම්මන්ත්‍රණ සම්ප්‍රදායයක් සහිත ලෝකය නවීන මිනිසාට හුරු පුරුදු  කරන ලද්දේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැවැන්ත පෙළඹවීම මතය.


 වර්තමාන මහලේකම් තැන්පත් බැන් කී මූන් මහතා තිදරු පියෙකි. බෞද්ධ පවුල් පසුබිමක වැඩුනේය. නිදහස් මතධාරිය. සිය මහලේකම් පහේ කාලයෙන් පසුව, කවරාකාර ජීවන ශෛලියකට යොමුවන්නට සැදී පැහැදී සිටීදැයි බැන් කී මූන් මහතා පවසා නැත. ඒ මහතාට පෙර සිටි කොෆි අනාන් මහලේකම්වරයා කීවේ. තම මහලේකම් පදවියෙන් ඉවත්වූ පසු ගොවිතැනක් කරගෙන දිවි ගෙවන්නට සැරසෙන බවයි. ඒ අදහසට කුමක් වීදැයි අපි නොදනිමු.


 එහෙත් මහලේකම් බැන් කී මූන් මහතා පදවියෙන් ඉවත් වන්නට පෙර අපගේ දුක් සැප විමසන්නට පැමිණීම අප දකින්නේ හුදෙක් නිල පිළිවෙතක් වශයෙන් නොවේ. සුහද මිනිස් කමකුත් වශයෙනි.


මේ අලුත්ම සංචාරයේදී ශ්‍රී ලංකාවේ බොහෝ පෙදෙස් දක්නා බැන් කී මූන් මහලේකම්වරයා ශ්‍රී ලංකාවේ යහපාලන ප්‍රතිපත්තියේත්, සංහිඳියා චින්තනයේත් ප්‍රගතිය අගයන්නේය. 2015 ඔක්තෝබර් මාසයේදී මානව අයිතිවාසිකම් ක්ෂේත්‍රයේදී ඉදිරිපත් කෙරුණු යෝජනා ක්‍රියාවේ යෙදෙනු දකින්නට බැන් කී මූන්  මහතා කැමැතිය.


2017 ජනවාරියේදී එතුමාගේ අනුප්‍රාප්තික මහලේකම්වරයා හෝ වරිය විසින් කවර මුහුණුවරක දශකයක්, ජගත් ජන මණ්ඩලයට ලබා දේදැයි බොහෝ දෙනා විමසිල්ලෙන් සිටිති. ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික සංඛ්‍යාව වැඩිකිරීම, මහලේකම් පදවි දෙකක් මගින් ජගත් ජනමතය සමතුලිත කිරීම ආදී ප්‍රතිසංස්කරණ ගැන කතා වන බැවිනි. එහෙත් මුඛ්‍ය අවශ්‍යතාවය සාමය හා සුහද සහජීවනය යි. බැන් කී මූන් මහතා තමාගෙන් පසුව එන අයටත් ඒ පණිවුඩය කියා දේයැයි අපි සිතමු.


මානව වංශය, සන්නිවේදනයේ ආශ්චර්යවත් ප්‍රගතිය හා සමග ද්වේෂ පාලනයකටත් ඇබ්බැහි වී සිටී. මිනිස් වග නසන දරුණු කම්වලට ඉඩ නොලැබෙන අනාගතයක් එක්සත් ජාතින්ගේ 2017 යුගයේදීත් උදාවේවා.


 මිනිසාගේ දරුණුකම ගැන දර්ශනවාදී රසල් විසින් පැවැසූ දේ අද අති උචිතය. තාක්ෂණය අතිශයින් දියුණු වෙද්දී වෛරයත් ඒ වේගයෙන්ම ගමන් ගන්නා ලොවකදී වරක් බර්ට්‍රන්ඞ් සෙල් දර්ශනවාදියාගෙන් මාධ්‍යවේදියෙක් මෙසේ විමසුවේය. “රසල් දර්ශනවාදියාණෙනි, තෙවන ලෝක මහා යුද්ධයකදී කවර නම් අවි භාවිතවේද?” රසල් දර්ශනවාදියාගේ පිළිතුර “තෙවන ලෝක මහා යුද්ධයේදී මිනිසුන් අවි ආයුධ වශයෙන් භාවිත කරනු ඇත්තේ, ගල්, පොලු, මුගුරු ඔවුන්ගේ යුද ඇඳුම වනු ඇත්තේ අමුඩයයි.”
එක්සත් ජාතින්ගේ සංවිධානයේ අනාගත දර්ශනය නම් කිසිසේත් එවැන්නක් විය යුතු නැත. බැන් කී මූන් වැනි සාම වීරයෝ ඒ ජගත් ජනමණ්ඩලය නිසි මඟ හසුරුවත්.

 


 කෙටි යෙදුම්
 එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ඉමක් කොණක් නැති කෙටි යෙදුම් ප්‍රවාහයක් ලොවට දී ඇත. උංගා, යුනිසෙෆ්, යුනෙස්කෝ, හූ, එෆ්එඞ්, යුනිඩෝ, උයක්ටාඞ්, යුනෙෆ් ආදී වශයෙනි. සිංහල වහරටද ඇතැම් කෙටි යෙදුම් ඇතැළු වේ. දුරකතනයට දු.ක. ලංකා විදුලි මණ්ඩලයට ලංවිම, ලංගම ආදි වශයෙනි.

 


 කෙටි යෙදුම් ඇත්ත කතාවක්
 පාසල් පරික්ෂකයෙක්, විද්‍යාලයක පරික්ෂණය සඳහා ගියේය. විදුහල්පති එහි නොසිටියේය. ඔහුට දොස් පවරා සටහනක් ලියන්නට පරික්ෂකවරයා පාසලේ ලොග් පොත ගත්තේය. එහි දුටු කෙටි යෙදුමකින් ඔහු අන්ද මන්ද විය. එහි තිබුණේ මෙයයි.


කොකා කකා ගියා- මෙයට විදුහල්පති

තේරුම:- කොට්ඨාස කාර්යාලයට කලාප කාර්යාලයට ගියා.

 

 


RECOMMEND POSTS