ලක් කතුන්ට බි‍්‍රතාන්‍ය හමුදා පාසලෙන් උපාධි



මහා බි‍්‍රතාන්‍ය හමුදා පුහුණු පාසලේ පුහුණුවීම් සාර්ථකව අවසන් කර, උපාධි හිමිකර ගැනීමට ශී‍්‍ර ලාංකා ගුවන් හමුදාවේ නිලධාරිනියන් දෙදෙනකු සමත් වී බවත්, එම හමුදා පාසලෙන් පුහුණුව ලබා උපාධි හිමි කර ගත් පළමු ශී‍්‍ර ලාංකික කාන්තාවන් දෙදෙනා මොවුන් දෙදෙනා වනු ඇති බවත් බි‍්‍රතාන්‍යයේ ‘ද ෆෝසස් නෙට්වර්ක්’ හමුදා පුවත් වෙබ් අඩවිය වර්තා කරයි.

පියසැරි ලූතිනන් ලක්ෂිකා අටාලේ සහ කොප‍්‍රල් අමරසේන යන මෙම හමුදා නිලධාරිනියන් දෙදෙනා පුහුණුව ලැබුවේ ‘ආමි ස්කූල් ඔෆ් සෙරමොනියල්’ හමුදා පාසලේය.

සෑම වසරකම ආසියාවේත් මැදපෙරදිග කලාපයේත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල හමුදා නිලධාරීන්ට, නෝර්ත් යෝක්ෂයර් ප‍්‍රාන්තයේ කැටරික් හි පිහිටි මෙම හමුදා පුහුණු පාසලෙන් විශේෂ පුහුණුවක් ලැබීමට අවස්ථාව උදා වෙයි.

ලූතිනන් ලක්ෂිකා අතලේ සහ කොප‍්‍රල් අමරසේන යන දෙදෙනා මෙම හමුදා පුහුණු පාසලේ පුහුණුවක් සඳහා සහභාගී වුණු පළමු ශී‍්‍ර ලාංකික හමුදා නිලධාරිනියන් දෙදෙනා වීම ද විශේෂත්වයකි.

ශී‍්‍ර ලාංකික නිලධාරිනියන් දෙදෙනා සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කළ බවත්, බොහොම හොඳින් පුහුණු වැඩසටහනට සහභාගී වුණු බවත් ඔවුන්ගේ උපදේශකවරුන්ගෙන් කෙනකු වන කර්නල් සාජන්ට් පෝල් මනී පවසා ඇත.

ෆෝර්සස් නෙට්වර්ක් ඇසුරිනි

 


RECOMMEND POSTS