දුප්පත්කම නැති කිරීමේ සැලැස්මක්



වසර 2020 වනවිට “අන්ත දුගීබව” රටින් තුරන් කිරීමේ අරමුණ ඉටු කරගැනීමට ඇත්තේ තවත් වසර දෙකක් බැවින් එම අරමුණ ඉටු කරගැනීම සඳහා තිරසර පියවර ගත යුතු යැයි චීන ජනාධිපති ෂී ජින්පින්ග් පැවැසීය. 

“ජයග්‍රහණය සපුරා ගන්නා තෙක් කිසිදු අවස්ථාවකදී පසු නොබැසිය යුතු” යැයි ද චීන ජනාධිපතිවරයා කීවේය. ඔහු එම අදහස් පළ කළේ ගන්ෂු පළාතේ පැවැති චීන ජාතික පාර්ලිමේන්තුවේ  13 වැනි ජාතික ජනතා කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය අමතමිනි. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්වරයා ලෙසත් චීන මධ්‍යම හමුදා කොමිසමේ සභාපතිවරයා ලෙසත් ඔහු එම සැසිවාරය ඇමතීය.  

“දරිද්‍රතාව අඩු කිරීමේ මානව ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුවහන් කරමින් පසුගිය වසර කිහිපයේදී දරිද්‍රතාවට එරෙහි දුෂ්කර සටනේදී තීරණාත්මක ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා” යැයි චීන ජනාධිපතිවරයා කීවේය. 

කාර්යභාරය තවමත් අවසන් නැතැයි ද ඉදිරියේ කළ යුතු කර්තව්‍යය වඩාත් දුෂ්කර යැයි ද චීන ජනාධිපති ෂී ජින්පින්ග් කීය. දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව බොහෝ දුක් වේදනාවලින් පීඩා විඳින බව ද ඔහු එහිදි අවධාරණය කළේය. 

වැඩසටහනෙන් අදහස් කෙරෙන්නේ මොකක් ද ? 

අන්ත දුගීබව තුරන් කිරීම යන්නේ තේරුම කුමක්දැ යි පැහැදිලි කරමින් කිසිදු පුද්ගලයකු ආහාර සහ ඇඳුම් පිළිබඳ කනසල්ලට පත් නොවීම යැයි ෂී ජින්පින්ග් කීවේය. සියලු දෙනාටම අනිවාර්ය අධ්‍යාපනය, මූලික සෞඛ්‍ය පහසුකම් සහ ආරක්ෂිත නිවසක් යනාදියට ප්‍රවේශ වීමට හැකි විය යුතු බවත් ඔවුන් සියලු දෙනා ඒවායේ ප්‍රතිලාභ විඳිය යුතු බවත් චීන ජනාධිපතිවරයා කීය.

නිලධාරීවාදී ප්‍රවේශය විවේචනය කළ ඔහු විධිමත් බව වෙනුවෙන් ඒවා පිළිපැදීමට උත්සාහ කිරීමෙන් දරිද්‍රතාව තුරන් කිරීමේ වැඩසටහන අවහිර කරන බවත් එවැනි ප්‍රවණතාවලට එරෙහිව දැඩි පියවර ගන්නා බවටත් ඔහු අනතුරු ඇඟවීය.

දරිද්‍රතාවයට එරෙහි මෙම තීරණාත්මක සටනේදී කොමියුනිස්ට් පක්ෂයේ කමිටු සහ ආණ්ඩුවේ සහ රජයේ විවිධ මට්ටම්වල සිටින සියලු දෙනා ඔවුනොවුන්ගේ වගකීම් කරට ගනිමින් කටයුතු කරන්නැයි ද ජනාධිපති ෂී ජින්පින්ග් ඉල්ලා සිටියේය.

නිලධාරීන්ගේ නුසුදුසු සහ අනිෂ්ට ක්‍රියාකලාප කාලයත් සමඟ නිවැරැදි කළ යුතු යැයි ද ඔහු කීවේය. දරිද්‍රතාව අඩු කිරීමේ ව්‍යාපෘතිවල යෙදෙන ඇතැම් නිලධාරීන්ගේ නොමනා හැසිරීම් සහ දූෂණයට එරෙහිව විශේෂ පියවර ගත යුතු යැයි ද ජනාධිපති ෂී කීය. 

ග්‍රාමීය ප්‍රබෝධය

ගම්බද ප්‍රදේශ නැවත ප්‍රාණවත් කිරීමේ උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම සඳහා වැඩි පරිශ්‍රමයක් දරන්නැයි පසුගිය සිකුරාදා චීන ජනාධිපති ෂී ජින්පින්ග් ඉල්ලා සිටියේය. එම උපායමාර්ගය ප්‍රධාන අරමුණ වී ඇත්තේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමයි.

නූතන හා කාර්යක්ෂම කෘෂිකාර්මික ක්ෂේත්‍රයක් ගොඩනගන අතරවාරයේදී ආහාර සුරක්ෂිතතාව ළඟා කරගැනීම සඳහා සැපයුම් අංශයේ ප්‍රතිසංස්කරණ කිරීම ප්‍රවර්ධනය කිරීමට පියවර ගත යුතු යැයි 13 වැනි ජාතික ජනතා කොංග්‍රසයේ දෙවැනි සැසිවාරයේදී හනන් පළාතේ නියෝජිත පිරිසක් ආමන්ත්‍රණය කරමින් ජනාධිපති ෂී ජින්පින්ග් කීවේය. 

අනෙකුත් වචනවලින් කියන්නේ නම් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ආහාර අයිතම, විශේෂයෙන්ම ධාන්‍ය වර්ග ගොවීන්ට ලබාදිය යුතුය. 

පාරිසරික විද්‍යාත්මක වැදගත්කමක් ඇති පරිසර ආරක්ෂා කරන්නැයි ද දූෂණයට ලක්ව ඇති ග්‍රාමීය ප්‍රදේශවල පරිසරය ආරක්ෂා කිරීමටත් සිදු වී ඇති විනාශයන්ට පිළියම් යෙදීමට පියවර ගන්නැයි ද ජනාධිපති ෂී ජින්පින්ග් ඉල්ලා සිටියේය. 

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ආහාරවල තත්ත්වය බාල කිරීම ආදී අපරාධවලට එරෙහි දැඩි දඬුවම් පනවත් බවත් දඩ අය කරන බවත් ඔහු කීවේය.

මෙම ඉලක්ක සපුරාගැනීමට නම් ග්‍රාමීය ප්‍රදේශවල බිම් මට්ටම්වල සිටින කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් සහ නායකත්වය ශක්තිමත් කිරීමට පියවර ගත යුතු යැයි ද ෂී ජින්පින්ග් පැවැසීය. 

එහිදි ග්‍රාමීය ප්‍රදේශවල ස්වයං-පාලන පද්ධති අත්හදා බැලීමට පක්ෂය පියවර ගත යුතු යැයි ඔහු යෝජනා කළේය. 

ග්‍රාමීය ප්‍රදේශ සහ නාගරික ප්‍රදේශ අතර මානව සම්පත්, ඉඩම් සහ ප්‍රාග්ධනය යනාදි නිෂ්පාදන සාධක සාර්ථකව හා සමානව හුවමාරු වීම සඳහා පියවර ගන්නැයි ද එම ප්‍රදේශ අතර සම්පත් දෙපසට ගලා යෑම ප්‍රවර්ධනය කරන්නැයි ද ජනාධිපති ෂී ජින්පින්ග් ඉල්ලා සිටියේය.

“අන්ත දුගීබව තුරන් කිරීමේ ඉලක්කය 2020 වනවිට සපුරා ගත යුතු” යැයි චීන ජනාධිපති ෂී ජින්පින්ග් අවධාරණය කළේය. 

සනීපාරක්ෂක විප්ලවය

ග්‍රාමීය ප්‍රදේශවලට වැදගත් කරුණක් සම්බන්ධයෙන් චීන රජය අවධානය යොමු කර තිබේ. එය වැසිකිළි විප්ලවය එසේත් නැතිනම් සනීපාරක්ෂාව යනුවෙන් නම් කර තිබේ. 

ලොව දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනය මේ වනවිට “වැසිකිළි විප්ලවයකට” මැදිව සිටී. රටේ තිබෙන වැසිකිළි තත්ත්වය වැඩි දියුණු කරමින් සනීපාරක්ෂව වැඩි කිරීමේ අරමුණින් 2015 වසරේදී මේ ව්‍යාපෘතිය දියත් කරන ලදි. එහෙත් තවත් බොහෝ දේ කළ යුතුව තිබේ. චීනයේ ග්‍රාමීය ප්‍රදේශවල ඇතැම් වැසිකිළි ඉතා කුඩා ඒවා වන අතර ඒවායේ පිරිසුදු බව ඉතාම අඩුය. ඇතැම් වැසිකිළි වුවමනාවට එපාවට අටවා ගත් ඒවා වන අතර ඇතැම් තැන්වල වැසිකිළි බවට පත්ව ඇත්තේ ඌරු කොටු ආසන්නයේ තිබෙන වළවල්ය. 

වැසිකිළි සිතීමට ප්‍රසන්න දෙයක් නොවුණත් ගම්වැසියන්ට සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සහ ජීවන රටාවක් උදා කරදීම සඳහා පිරිසුදු වැසිකිළ තිබීම අත්‍යවශ්‍ය කරුණකි. 

ඉතා හොඳ ඉහළ සනීපාරක්ෂාවක් ඇති පිරිසුදු වැසිකිළි ප්‍රසන්න හා සුන්දර විවේකී නිවාඩු අත්දැකීමක් සංචාරකයන්ට ගෙන දෙනු ඇත. එමෙන්ම ව්‍යාපාරවලට විශාල වශයෙන් සාර්ථක වීමට අවස්ථා ද ගෙන දෙනු ඇත. 

මේ වසරේදී ගම්මාන 30,000ක ග්‍රාමීය ගෘහ ඒකක මිලියන 10ක වැසිකිළි ස්ථාපිත කිරීමට සහ තිබෙන වැසිකිළි අලුත්වැඩියා කරන බව චීනය නිවේදනය කර තිබේ. 

ඒ සඳහා චීන මධ්‍යම ආණ්ඩුවෙන් යුවාන් බිලියන 7ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 1.04) අරමුදලක් වෙන් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කසළ බැහැර කිරීම

වැසිකිළි අලුත්වැඩියා කිරීමට අමතරව වඩාත් සුන්දර සහ සෞඛ්‍ය සම්පන්න ගම්බද ප්‍රදේශ සහිත රටක් නිර්මාණය කිරීම සඳහා චීනය ඔවුන්ගේ කසළ සහ මල අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේද වැඩිදියුණු කරමින් සිටී. 

චීනය සතු ගම්මාන සංඛ්‍යාව 550,000 ඉක්මවයි. සමාගම් එම ගම්මානවල තිබෙන මහ පරිමාණ ව්‍යාපාර අවස්ථා ග්‍රහණය කරගැනීමේ දැඩි උනන්දුවකින් පසුවෙයි. එය සාර්ථකව සිදුවීමට නම් ග්‍රාමීය පරිසරය දැනට තිබෙනවාට වඩා හොඳ තත්ත්වයකට පත්විය යුතුය. 

වැසිකිළි සඳහා නූතන දැනුම හා තාක්ෂණය භාවිත කිරීම

බීජිං නුවර පසුගිය වසරේ පැවැති “රීඉන්වෙන්ටඞ් ටොයිලට් එක්ස්පෝ” ප්‍රදර්ශනයේදී “බිල් ඇන්ඞ් ගේට්ස්” පදනම නව වැසිකිළ තාක්ෂණික ක්‍රමවේද රැසක් ලොවට ප්‍රදර්ශනය කරන ලදි. 

මෙම නැවත නිපදවන සහ නව වැසිකිළිවලට මල අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා කාණු හෝ බැහැර කිරීමේ පද්ධති අවශ්‍ය නොවන අතර ඒවා ස්ථාපිත කිරීම මිල අඩු අතර ඉතා පහසුය. 

කෘෂිකර්මාන්තයේ මූලික නවීකරණය

“කෘෂිකර්මාන්තයේ මූලික නවීකරණය සහ ග්‍රාමීය ප්‍රදේශ” ඉලක්කය 2035 වනවිට සපුරා ගැනීමට චීනය සැලසුම් කරමින් සිටී. 

ශක්තිමත් කෘෂිකර්මාන්තයක්, සුන්දර ගම්බද ප්‍රදේශ සහ ධනවත් ගොවීන් යන්න චීනයේ මහ පරිමාණ හා දීර්ඝකාලීන ඉලක්කය වී තිබේ. එය වසර 2050 වනවිට සපුරා ගැනීම ද චීනයේ ඉලක්කයක් වී තිබේ.

ජාතික ආහාර සුරක්ෂිතතාව සුරක්ෂිත කිරීම, රටේ කෘෂිකාර්මික තරගකාරීත්වය වර්ධනය කිරීම යනාදිය සඳහා ඉදිරියේදී ගුණාත්මකභාවයෙන් ඉහළ ගොවිබිම් චීනය සතුවනු ඇත. ඒවායේ කාර්යක්ෂම ජල සංරක්ෂණ පහසුකම් ස්ථාපිත කෙරෙනු ඇති අතර වඩාත් උසස් ඉහළ තාක්ෂණයෙන් සමන්විත උපකරණ භාවිත කෙරෙනු ඇත. 

චීනයේ තිබෙන ගොවිබිම්-වගාබිම් විශාල වෙමින් තිබේ. ඒවායේ මෙහෙයුම් කටයුතු තොරතුරු තාක්ෂණය මගින් යාන්ත්‍රිකකරණයටත් විවිධ වෙනස්කම්වලට ලක්වෙමින් නවීකරණයටත් ලක්වෙමින් තිබේ. 

ග්‍රාමීය යටිතල පහසුකම් සහ මූලික සේවා වර්ධනය වී තිබේ. වසර දෙකක් ඇතුළත සමස්ත ග්‍රාමීය ජනගහනයට පිරිසුදු ආරක්ෂිත ජලය ලබාදීමට සැලසුම් කර ඇතැයි චීන ආණ්ඩුව නිවේදනය කළේය. 

ග්‍රාමීය ප්‍රදේශවලට විදුලිබලය සැපයීම ආරම්භ කරන ලද නව ග්‍රාමීය බලශක්ති ජාලය ඉතා ඉක්මනින් එහි වැඩ කටයුතු අවසන් කරනු ඇත.

කෘෂිකර්මාන්තය, ගොවීන් සහ ග්‍රාමීය ප්‍රදේශවලට තව තවත් අරමුදල් යෙදවීම සඳහා ප්‍රතිපත්ති  සම්පාදකයන් පියවර ගනිමින් සිටී. පෞද්ගලික සමාගම්වලට ද මේ කර්තව්‍යයට දායක වීමට සඳහා දිරිගන්වා තිබේ. 

මෙම සියලු උත්සහායන් ගනුයේ හරිත ගොවිතැන, විද්‍යුත් වාණිජ්‍යය, සංචාරක ක්ෂේත්‍රය, පුනර්ජනනීය බලශක්තිය සහ ඉදිකිරීම් යනාදී ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අවස්ථා නිර්මාණය කිරීම සඳහාය. 

පලදායී සහ සාධනයී ග්‍රාමීය ස්වයං පාලනය

ගම්බද සමාජ ශක්තිමත් සහ ස්ථාවර ඒවා බවට තහවුරු කිරීමට පලදායී ග්‍රාමීය පාලන ක්‍රමයක් අවශ්‍ය වන අතර ගම්බද ප්‍රදේශ නැවත ප්‍රාණවත් කිරීමේ උපායමාර්ගයට ද එය ඇතුළත් වේ.

චීනයේ කෘෂිකර්මාන්තය සහ ග්‍රාමීය ප්‍රදේශ නවීකරණය නොකර ජාතික නවීකරණය සම්පූර්ණ කළ නොහැක. ඉදිරි දිනයකදී අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ පාරිසරික කළමනාකරණය යනාදී ක්ෂේත්‍රවලින් නාගරික ජනතාව ලබන ප්‍රයෝජන සහ ගුණාත්මක සේවාවලින් ඔවුන් ලබන ප්‍රතිලාභ මිලියන 600 ක් වන චීනයේ ග්‍රාමීය ජනතාවට ද හිමිවනු ඇතැයි චීනය බලාපොරොත්තු දල්වාගෙන සිටී. 

මෙය අතිවිශාල ව්‍යාපෘතියකි. ඒ සඳහා දීර්ඝ කාලයක් ගත වන බව අවිවාදිතය. එහෙත් චීනය ඉතා කැපවීමෙන් හා මහන්සියෙන් වැඩ කරන අතර අනෙක් රටවල අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගනී. 

ගම්බද ප්‍රදේශවල සාම්ප්‍රදායික චීන සංස්කෘතිය සහ ඉතා අලංකාර හා සුන්දර ස්ථාන නරඹමින් සංචාරකයන් තම නිවාඩුව විවේකීව හා සතුටින් ගත කරනු ඇතැයි චීනය අපේක්ෂා කරයි. එමෙන්ම ජාත්‍යන්තර ආයෝජකයන් ග්‍රාමීය ප්‍රදේශවල සිටින කාර්යශූර, කඩිසර සහ විවෘත මනස්වලින් හෙබි ගොවීන් සමඟ කටයුතු කරමින් එම ප්‍රදේශවල තිබෙන සහ වේගයෙන් වර්ධනය ව්‍යාපාරික අවස්ථාවලින් ප්‍රයෝජන ගනු ඇතැයි චීනය බලාපොරොත්තු වේ.

මම කර්තව්‍යන්ගේ සාර්ථකත්වය අනෙක් රටවලට ඔවුන්ගේ රටවල ග්‍රාමීය ප්‍රදේශ මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සෙවීමට ද උපකාරී වනු ඇත. 

බීජිං (ෂිංහුවා) 


RECOMMEND POSTS