ත්‍රස්ත කල්ලි ආසියාවට තර්ජනයක්



අයි.එස්. සංවිධානයෙන් මෙන්ම අනෙකුත් ත්‍රස්තවාදී සංවිධානවලින් ආසියානු කලාපයට විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපයට තර්ජනයක් ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය කියයි. ඇය මේ බව කියා සිටියේ මැදපෙරදිග වෙබ් අඩවිය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

ඇමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතාබහක් ඇති වී තිබේ. ජනාධිපතිවරණ උණුසුමත් සමඟ ඇමෙරිකාව සම්බන්ධයෙන් කෙරෙන කතාබහ වැඩි වී තිබේ. ඇමෙරිකානු තානාපතිවරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය රජයේ ස්ථාවරය මෙසේ පැහැදිලි කළාය.

ප්‍රශ්නය - ඇමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතාබහක් ඇතිවුණා. දැනටත් එහි වෙනසක් නැති හැඩයි. විශේෂයෙන්ම ගිවිසුම් සම්බන්ධයෙන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න ඉදිරිපත් වුණා. ඒ වගේම ඔහුට එරෙහිව නඩු ද විභාග වන බව වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් ඔබ මීට පෙර අවස්ථා කිහිපයකදීම පිළිතුරු දී තිබුණා. මේවා සම්බන්ධයෙන් අලුත් තොරතුරු මොනවාද ?

පිළිතුර : ඔව්, මම මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම පිළිතුරු දුන්නා. මේ සම්බන්ධයෙන් අලුතෙන් කියන්න යමක් නැහැ. පුරවැසිභාවය ඉවත් කිරීම කියන්නේ පරිපාලනමය කරුණක්. ඒ වගේම පෞද්ගලිකත්වය සම්බන්ධ කරුණක්. ඒ නිසා මට එක් පුද්ගලයකු ගැන විශේෂයෙන් කියන්න බැහැ. පුරවැසිභාවය ඉවත් කිරීමෙන් පසුව ඒවා ප්‍රසිද්ධියට පත් කෙරෙනවා.

ඔව්, ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු කිහිපයක් තිබෙනවා. ඒවා සිවිල් නඩු. ඒක අපරාධ නඩුවලට වඩා වෙනස්. පුරවැසිභාවයට අදාළ වෙන්නේ අපරාධමය නඩු. සිවිල් නඩු ගොනු කරන්නේ පෞද්ගලිකවම. රජය පුද්ගලයන්ට එරෙහිව සිවිල් නඩු ගොනු කරන්නේ නැහැ.

ප්‍රශ්නය - ‘එම්.සී.සී. (මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්)’ සහ ‘සෝෆා’ ගිවිසුම් සම්බන්ධයෙන් පසුගිය කාලයේදී කතා වුණා. ‘එම්.සී.සී. (මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්)’ සම්බන්ධයෙන් ඔබ ජනාධිපතිවරයාට  ලිපියක් යොමුකළා. ඊට පිළිතුරු ලැබුණා ද ?

පිළිතුර : මේ ගිවිසුම් සම්බන්ධයෙන් මම වෙන වෙන කරුණු පැහැදිලි කරන්නම්. එක් ගිවිසුමකට 2017 දී අනුමැතිය ලැබුණා. ඒ තමයි ඇක්සා Acquisition and Cross Servicing Agreement (ACSA) ගිවිසුම. ඒක පරිපාලනමය ගිවිසුමක්. ඒ මගින් දෙරටේම හමුදාවලට එකිනෙකාගෙන් භාණ්ඩ හා සේවා ලබාගැනීමට අවස්ථා ලැබෙනවා.

ඔබ සඳහන් කළ දෙවැන්න සෝෆා Status of Forces Agreement (SOFA) ගිවිසුම එහෙමත් නැතිනම් වී.එෆ්.ඒ Visiting Forces Agreement (VFA) ගිවිසුම. මේක යෝජිත ගිවිසුමක්. මේකට කිසිම හදිස්සියක් නැහැ. මෙය තවමත් සාකච්ඡා මට්ටමේ තිබෙන්නේ.

ප්‍රශ්නය - සෝෆා ගිවිසුමේ නම වී.එෆ්.ඒ. ලෙස වෙනස් කළ බවට චෝදනාවක් තිබෙනවා. මේ ගිවිසුම් දෙකක් ද එකක් ද ?

පිළිතුර : ‘සෝෆා’හා ‘වී.එෆ්.ඒ’කියන්නේ එකම ගිවිසුම. එක එක තැන්වලදී එක එක නමින් හඳුන්වනවා. එහෙත් ඒවායේ කරුණු එක හා සමානයි. එය පරිපාලනමය සහ මෙහෙයුම් සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ සහ කාර්ය සංවිධානය කිරීමේ ගිවිසුමක්. විශේෂයෙන්ම අභ්‍යාගමන (විදෙස්) හමුදාවලට පහසුකම් සැපයීමේ ගිවිසුමක්. මෙම ගිවිසුමෙන් කෙරෙන්නේ විදෙස් හමුදාවලට තවත් රටකට පැමිණීම සඳහා කොන්දේසි සහ තත්ත්ව සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කරගැනීමයි. ඔවුන් පැමිණින්නේ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට හෝ ආරාධනාවකට අනුව පමණයි.

ප්‍රශ්නය - මෙම ගිවිසුමෙන් ඇමෙරිකානු හමුදාවලට රට තුළ ඔවුන්ගේ නිල ඇඳුම ඇඳීමටත්, ඒ වගේම ආයුද, සන්නිවේදන උපකරණ රැගෙන යෑමටත් අවස්ථාව ලැබෙන බවට වාර්තා වෙනවා.  පුවත්පත් කිහිපයක්ම ඒ බව වාර්තා කර තිබුණා. මෙහි සත්‍යතාව කුමක් ද ? එවැන්නක් ගිවිසුමේ ඇතුළත් වෙනවා ද ?

පිළිතුර : තවමත් අපි ආණ්ඩුව සමඟ සාකච්ඡා කරමින් ඉන්නේ. අපි රටවල් ගණනාවක් සමඟ සෝෆා එහෙමත් නැතිනම් වී.එෆ්.ඒ. ගිවිසුම් ඇති කරගෙන තිබෙනවා. ඕනෑම කෙනෙකුට ඒ ගිවිසුම් බලන්න පුළුවන්. අපි ආරක්ෂක අංශ සමඟ ශක්තිමත් සබඳතා ඇති කරගැනීමට බලාපොරොත්තු වෙනවා. අපි විවිධ රටවල හමුදා සමඟ යුද අභ්‍යාසවල නිරත වෙනවා. ශ්‍රී ලංකාව සමඟත් අපි ඒ ආකාරයෙන් කටයුතු කර තිබෙනවා. නාවිකයන් , ධීවරයන් මුදා ගැනීම, වෛද්‍ය ආධාර ලබාදීම, යුද අභ්‍යාසවල නිරත වීම, නාවික යාත්‍රා මුදා ගැනීම යනාදී බොහෝ දේ කර තිබෙනවා. අපි එවැනි මොකක් හෝ දෙයකට සම්බන්ධ වීමේදී නැවත නැවත සාකච්ඡා කරන්න වෙනවා. නැවත නැවත ගිවිසුම් ඇති කරගන්න වෙනවා. එහෙත් මේ ගිවිසුමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එකවර කොන්දේසි සහ එකඟතා ඇති කරගැනීමයි. එවිට අපිට කාලය ඉතුරු කරගන්න පුළුවන්. එකම කරුණු නැවත නැවත සාකච්ඡා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

ප්‍රශ්නය - මෙම ගිවිසුමෙන් ඇමෙරිකානු හමුදාවලට රට තුළ ඔවුන්ගේ නිල ඇඳුම ඇඳීමටත්, ඒ වගේම ආයුද, සන්නිවේදන එහා මෙහා ගෙන යෑමටත් අවස්ථාව ලැබෙන බවට වාර්තා වී තිබුණා. ශ්‍රී ලංකාවේ නීතිය අනුව වෙනත් හමුදාවකට රටතුළ ඔවුන්ගේ නිල ඇඳුමින්  ඉන්න බැහැ. ඒ සම්බන්ධයෙන් යමක් සාකච්ඡා වී තිබෙනවා ද ?

පිළිතුර : අපි තවමත් සාකච්ඡා කරලා අවසන් නැහැ. ඒ සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුවයි. ඇමෙරිකාව කිසිදු අයුරකින් ශ්‍රී ලංකාව තුළ හමුදා කටයුත්තකට සම්බන්ධ නොවන බව මම කියන්න ඕනේ. ඇමෙරිකානු හමුදා ශ්‍රී ලංකාවට පැමිණෙනවා නම් එහෙම එන්නේ ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට අනුවයි. අපි ඇති කරගන්නා අන්‍යෝන්‍ය එකඟතාවලට අනුවයි. නෛතික කරුණු සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනිමේ හැකියාව සහ අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකා රජයටයි.

 ප්‍රශ්නය - ‘එම්.සී.සී. (මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්)’ ගිවිසුමේ තත්ත්වය කුමක් ද ? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔබ යැවූ ලිපියට පිළිතුරු ලැබුණා ද ?

පිළිතුර : ඉහත මම පිළිතුරු ලබාදුන් ගිවිසුම් දෙකම ආරක්ෂාව සම්බන්ධ ගිවිසුම්. ඒ වගේම ඒ දෙකම පරිපාලනමය ගිවිසුම්. එහෙත් එම්.සී.සී. (මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්) ඊට වෙනස්. එය සංවර්ධන වැඩසටහනක්. එය ණයක් නෙවෙයි. එය ශ්‍රී ලංකාවට ලබාදෙන ප්‍රදානයක්. නිශ්චිත කාලයක් සඳහා සකසන ලද නිශ්චිත වැඩසටහනක්. මෙය ශ්‍රී ලංකාවට ලැබෙන අතිවිශාල සංවර්ධන සහායක්. අපි මීට පෙර ශ්‍රී ලංකාව සමඟ සංවර්ධන වැඩසටහන් කිහිපයක්ම ආරම්භ කළා. බොහෝමයක් සාර්ථකව අවසන් කර තිබෙනවා. විශේෂයෙන්ම මේ සංවර්ධන  වැඩසටහනේ යටතේ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙනවා. මාර්ග පද්ධතියට වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ආරක්ෂාව හෝ හමුදාවට මෙහි කිසිදු සම්බන්ධයක් නැහැ.

ප්‍රශ්නය - ජනාධිපතිවරයාගෙන් පිළිතුරු ලැබුණා ද ?

පිළිතුර : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න මට අවස්ථාවක් ලැබුණා. එහිදි මම ජනාධිපතිවරයාට ගිවිසුමේ කරුණු පැහැදිලි කළා. ශ්‍රී ලංකාව දැන් ඉහළ මැදි ආදායම් රටක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා යම් සැලකිල්ලක් තිබෙනවා. මොකද ඇමෙරිකා එක්සත් ජනපදය ඉහළ මැදි ආදායම් ලබන රටවලට මේ ප්‍රදානය ලබා දෙන්නේ නැහැ.

ප්‍රශ්නය - ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සැලකිල්ලක් දක්වන බව සඳහන් කෙරුණා. ශවේන්ද්‍ර සිල්වා මහතාට එල්ල වී තිබෙන චෝදනා කිසිවක් සනාථ වී නැහැ. මේ සම්බන්ධයෙන් ඇමෙරිකා රජය දරන අදහස මොකක් ද ?

පිළිතුර : මම මේක පැහැදිලිව කියන්න ඕනේ. අපි ශ්‍රී ලංකාවට කරන්න ඕනේ මොකක් ද කියන්නේ නැහැ. මොනවාද කළ යුත්තේ කියලා තීරණය කරන්නේ ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකා රජයයි. ඒ වගේම ජනාධිපතිවරයාගේ එම පත් කිරීම හරිද වැරැදිද කියලා අපි කිසිවක් කිව්වේ නැහැ. අපට එහෙම කියන්න බැහැ. ඇමෙරිකාව ලෙස අප කියා සිටියේ අපි මේ ගැන විමසිලිමත් වන බවයි. මොකද මානව හිමිකම් කඩකළ බවට ශවේන්ද්‍ර සිල්වා මහතාට දරුණු ගණයේ චෝදනා එල්ල වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලිපිලේඛන තිබෙනවා. වගවීම සම්බන්ධ ක්‍රියාවලියේදී මේ පත් කිරීම සම්බන්ධයෙන් අර්බුදකාරී හා මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වෙනවා. මෙවැනි පත් කිරීමක් තුළින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරය තුළ තිබෙන විශ්වාසයට සහ කීර්තියට හානි වෙනවා යන්න ඇමෙරිකාවේ අදහසයි. ඒ වගේම රජයේ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් ජනතාව ප්‍රශ්න කරන තත්ත්වයක් මතුවෙනවා කියන එකයි. රජය සංහිඳියාව, සාමය සහ ප්‍රතිසන්ධානය වෙනුවෙන් පොරොන්දු දී තිබෙනවා. මගේ රාජකාරිය ඇමෙරිකානු රජයේ ස්ථාවරය ප්‍රකාශ කිරීමයි. මම කරන්නේ එයයි.

ප්‍රශ්නය - ඇමෙරිකාව ගෝඨාභය රාජපක්ෂ මහතාට උදව් කරන බවට ඇතැම් පාර්ශව චෝදනා කරනවා. ශවේන්ද්‍ර සිල්වා මහතා පිළිබඳව අදහස් දැක්වූ ඇමෙරිකාව ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා කියලා චෝදනා එල්ල වෙනවා ?

පිළිතුර : ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාවේ ඉහළ තනතුරට උසස් කළා. එය නිල මට්ටමේ දෙයක්. ගෝඨාභය රාජපක්ෂ මහතා පුරවැසියෙක්. දේශපාලන පක්ෂයක් ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර තිබෙනවා. එය කරුණු දෙකක් වගේම සිදුවීම් දෙකක්. අපි අදහස් දැක්වූයේ රජය ගත් පියවරක් සම්බන්ධයෙන් පමණයි. පෞද්ගලික පුරවැසියෙක් ගැන අපි අදහස් දක්වන්නේ නැහැ.

ප්‍රශ්නය - පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් විදෙස් බුද්ධි අංශවලට තොරතුරු ලැබුණු බව කියැවුණා. ඇමෙරිකාවට ඒ සම්බන්ධයෙන් පූර්ව තොරතුරු ලැබී තිබුණා ද ?

පිළිතුර : අපිට එවැනි තොරතුරක් ලැබී තිබුණේ නැහැ. එය ඉතාම කනගාටුදායක සිදුවීමක්. කවරදාවකවත් එවැන්නක් සිදු නොවිය යුතුයි. එය මිලේච්ඡ ප්‍රහාරයක්. ප්‍රහාරවලින් පසුව ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි අපි විමර්ශන කටයුතුවලට සහාය දුන්නා. ඒ වගේම ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ කණ්ඩායම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට අපි අපේ සහයෝගය දුන්නා. එවැනි ප්‍රහාරයක් නැවත සිදු නොවිය යුතුයි. ඒ සඳහා අපි ශ්‍රී ලංකා රජයට අපේ පූර්ණ සහයෝගය දෙනවා.

ගෝලීය ත්‍රස්තවාදය අද අප සියලු දෙනාටම තර්ජනයක් වී තිබෙනවා. එය වෙනස්ම ආකාරයක තර්ජනයක්. අද වනවිට විශේෂයෙන්ම ආසියානු කලාපය ගෝලීය ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්ව තිබෙනවා. මේ ත්‍රස්තවාදය එක් රටකට එක් කලාපයකට සීමාවෙලා නැහැ. ගෝලීය ත්‍රස්තවාදය දරුණු ලෙස ව්‍යාප්ත වී තිබෙනවා. එය ජාලයක්. එය පරාජයට පත් කරන්න නම් බුද්ධි තොරතුරු හුවමාරු කරගන්න ඕනේ. ඒ වගේම රටවල් අතර, විශේෂයෙන්ම ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ අතර ඒ වගේම රජයන් අතර සහයෝගීතාව අත්‍යවශ්‍යයි. අපි සියලු දෙනා එකට එකමුතුව වැඩ කරන්න ඕනේ.

ප්‍රශ්නය - ත්‍රස්තවාදීන් සියලු දෙනා අත්අඩංගුවට ගත් බව ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්  කිහිපදෙනකු ප්‍රකාශ කළා. එහෙත් ඇතැම් පාර්ශව තවමත් තර්ජන තිබෙන බව කියනවා. ඇමෙරිකාව මේ සම්බන්ධයෙන් දරන අදහස මොකක් ද ?

පිළිතුර : ප්‍රහාරවලින් පසුව ශ්‍රී ලංකා රජය කඩිනම් පියවර ගත්තා. ප්‍රහාරවලට වගකිව යුතු සහ සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කළා. අපි ශ්‍රී ලංකා රජය කෙරෙහි විශ්වාසය තබනවා. ඒ වගේම අපි දිගින් දිගටම ශ්‍රී ලංකාවට සහාය දෙනවා. අයි.එස්. සංවිධානයෙන් මෙන්ම අනෙකුත් ත්‍රස්තවාදී සංවිධානවලින් ආසියානු කලාපයට තර්ජනයක් තිබෙනවා. ඒ නිසා කලාපයේ රටවල් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම අවධානයෙන් ඉන්න ඕනේ. මේ තත්ත්වය නිසා කලාපයේ රටවල් එකට එක්ව කටයුතු කරන්න ඕනේ. ඒ වගේම කලාපයෙන් පිටත රටවල් සමඟත් මේ සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කරන්න ඕනේ. ප්‍රහාර එල්ල වීම වැළැක්වීමට පියවර ගන්න ඕනේ.

පාස්කු ඉරිදා ප්‍රහාරවලින් හානි සිදුවූයේ ශ්‍රී ලංකාවට පමණක් නෙවෙයි. විදේශිකයන්ද ඝාතනය වුණා. කලාපයේ රටවල්වලටද තර්ජනයක් එල්ල වුණා.

ප්‍රශ්නය - පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක අංශ කණ්ඩායම් කිහිපයක්ම මෙරටට පැමිණියා. ඇමෙරිකාවේ එෆ්.බී.අයි. කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද මෙහි පැමිණියා. ඔවුන් වාර්තාවක් දුන් බවත් කියැවුණා. වත්මන් තත්ත්වය කුමක් ද ?

පිළිතුර : මා කලින් කිව්වා වගේම ශ්‍රී ලංකා රජය ඉතා ඉක්මනින් ප්‍රතිචාර දැක්වූවා. ආරක්ෂාව වැඩි කරන්න ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබෙනවා. හෝටල් සහ පෞද්ගලික අංශය පවා ඔවුන්ගේ ආරක්ෂාව ඉහළ දමා තිබෙනවා. අනාගතයේදී තර්ජන එල්ල වෙන්නේ නැහැ කියලා මට කියන්න බැහැ. අවදානමක් තිබෙනවා. ඒ නිසා බුද්ධි තොරතුරු එක්රැස් කිරීම ඉතාම වැදගත්. කලාපයේ අනෙක් රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමත් ඉතා වැදගත්.

අනෙක් අතට ජනතාවගේ ප්‍රශ්න විසඳීමද ඉතා වැදගත්. ජනවර්ග, විවිධ ආගමික කොටස්, ජන ප්‍රජා අතර තිබෙන ප්‍රශ්න විසඳන්න ඕනේ. අන්තවාදයට සහ ත්‍රස්තවාදයට වැඩෙන්න අවස්ථාවක් නොදිය යුතුයි. අන්තවාදීන්ට ත්‍රස්තවාදීන්ට සැඟවිය හැකි ස්ථාන නිර්මාණය වීම වැළැක්වීමට පියවර ගන්න ඕනේ. ජනතාව අතර සමගිය, සහයෝගය, විවෘතභාවය වැඩි කරන්න පියවර ගන්න ඕනේ. ප්‍රචණ්ඩත්වයට කිසිදු ඉඩක් නොදිය යුතුයි. ජනතාව අතර ජන කොටස් අතර විශ්වාසය ගොඩනැගිය යුතුයි.

ප්‍රශ්නය - ශ්‍රී ලංකාව 30 වසරක යුද්ධයක් අවසන් කළා. ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංවිධානයට, ඇමෙරිකාවට සහ ජාත්‍යන්තරයට මානව හිමිකම්, ප්‍රතිසන්ධානය, වගවීම සම්බන්ධයෙන් පොරොන්දු දුන්නා. ඇමෙරිකාව සමඟ සම අනුග්‍රහාය දක්වමින් එක්සත් ජාතීන්ගේ කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කළා. ඇමෙරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුණා. ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඇමෙරිකාව සෑහීමකට පත්වෙනවාද ?

පිළිතුර : එම පොරොන්දු ඇමෙරිකාවට හෝ ජාත්‍යන්තරයට හෝ දුන් පොරොන්දු නෙමෙයි. ඒ පොරොන්දු ශ්‍රී ලංකා රජය ඔවුන්ගේ ජනතාවට දුන් පොරොන්දු. ඒ පොරොන්දු ඉටු කරන්න ඇමෙරිකාව ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා. ශ්‍රී ලංකාව බිහිසුණු යුද්ධයකට මුහුණ දුන්නා. යුද්ධයේ තුවාල තවමත් සුවපත් වී නැහැ. කළ යුතු බොහෝ දේ තිබෙනවා. වගවීම, සංහිඳියාව මේ දේවල් සඳහා දීර්ඝ කාලයක් ගත වෙනවා. මෙය දීර්ඝ කාලීන ක්‍රියාවලියක්. වගවීම කියන දේ අත්‍යවශ්‍යයි. පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් වුණත් එහෙමයි. ජනතාවට ඕනේ ස්ථාවර, සෞභාග්‍ය සහ ආරක්ෂිත රටක්.

ප්‍රශ්නය - පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පසු ජනවර්ග අතරේ අවිශ්වාසයක් ඇතිවුණා. ශ්‍රී ලංකාව කුමක් කළ යුතුයි කියා ඔබ හිතනවා ද ?

පිළිතුර : පාස්කු ඉරිදා ප්‍රහාරවලින් දේශපාලනඥයන්ටත් වඩා ප්‍රජා නායකයන්, ආගමික නායකයන්, සාමය ඇති කිරීමට මැදිහත් වුණා. ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත වැළැක්වීමට ඔවුන් මැදිහත් වුණා වගේම ඔවුන් සාර්ථක වුණා. එසේ නොවුණා නම් ලොකු කලබලයක් වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා ඒ තත්ත්වය දිගටම පවත්වාගෙන යා යුතුයි. ජනවර්ග අතර, ආගමික කොටස් අතර තේරුම් ගැනීම, විශ්වාසය සහ අවබෝධය ඇති කළ යුතුයි. ජනවර්ග අතර ප්‍රජා අතර සංවාදයක් ඇති කළ යුතුයි.

ප්‍රහාර හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිමාවක් නැහැ. ඕනෑම වේලාවක ඕනෑම තැනක වෙන්න පුළුවන්. ඒ නිසා සාමය, ඉවසීම, සහයෝගීත්වය ඇති කිරීමට පියවර ගන්න ඕනේ. ඕනෑම කෙනෙකුට ගැටුම් ඇති කරන්න ඕනේ. ඒ නිසා ජනතාව අතර අවබෝධය ඇති කිරීම සහ ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්න ඕනේ.

ප්‍රශ්නය - ජනාධිපතිවරණය පැමිණෙමින් තිබෙනවා. ඇමෙරිකාව, ඉන්දියාව සහ චීනය ගැන වැඩි කතාබහක් ඇති වී තිබෙනවා. දේශපාලනඥයන් ජනතාව අතර විදෙස් ආක්‍රමණ ගැන බියක් නිර්මාණ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඕබේ අදහස කුමක් ද ?

පිළිතුර : ප්‍රජාතන්ත්‍රවාදය තු-ළ බිය නිර්මාණය කිරීමට ඉඩක් නැහැ. ඇමෙරිකාව ලෙස අපට ඕනේ ශක්තිමත්, ස්වෛරී සහ ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක්. ශ්‍රී ලංකාව ඔවුන්ගේ රටේ ආරක්ෂාව තහවුරු කරගන්න ඕනේ. තමන්ගේ මුහුදු සීමාව ආරක්ෂා කරගන්න ඕනේ. ශ්‍රී ලංකාවට ස්වාධීනව නැගී සිටීමට මෙන්ම තමන්ට තමන්ගේ රට ආරක්ෂා කරගැනීමට හැකියාව තිබෙන්න ඕනේ. ඒ සඳහා අපි ශ්‍රී ලංකාවට සහාය දෙනවා. ඒ නිසා එල්ල වන චෝදනා අසත්‍යයි. ඒවාට කිසිදු පදනමක් නැහැ.

ප්‍රශ්නය - ඇමෙරිකාව ඉන්දීය සාගර කලාපය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඇමෙරිකාව විදේශ ප්‍රතිපත්තිය තුළින් මෙම කලාපය ඉන්දු ශාන්තිකර කලාපය ලෙස නම් කළා. බලවත් රටවල් මේ කලාපය දෙස වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඇමෙරිකාව මෙය දකින්නේ කොහොමද ?

පිළිතුර : අපේ ප්‍රතිපත්තිවල වෙනසක් නැහැ. මේ කලාපයේ රටවල් සමඟ අපි සබඳතා ඇති කරගන්නවා. එම සබඳතා ශක්තිමත් කරගැනීමට අපි කටයුතු කරනවා. මං කලින් කිව්වා වගේ අපට ඕනේ ශක්තිමත් ස්වෛරී ශ්‍රී ලංකාවක්. ශ්‍රී ලංකාව කියන්නේ වැදගත් හා සුවිශේෂී භූගෝලීය පිහිටීමක් තිබෙන රටක්. ඒ වගේම ශ්‍රී ලංකාවට ආර්ථික අවස්ථා රැසක් තිබෙනවා. ශ්‍රී ලංකාවට කලාපයේ ආර්ථිකය ඇතුළු අංශ රැසකට දායකත්වය දක්වන්න පුළුවන්. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවලටත් විශාල දායකත්වය දක්වා තිබෙනවා. ඒ නිසා අපි ශ්‍රී ලංකාව සහ මේ කලාපයේ රටවල් සමඟ ශක්තිමත් සබඳතා ඇති කරගන්නවා.

ප්‍රශ්නය - ඉන්දියාව සහ චීනය ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උනන්දු වෙනවා. ඔබ එය දකින්නේ කොහොමද ? ඇමෙරිකාවේ ස්ථාවරය කුමක් ද ?

පිළිතුර : යම්කිසි රටක් තවත් රටක් සමඟ සබඳතා ඇති කරගැනීමේදී එම සබඳතාවලින් දෙපාර්ශවයටම වාසි සහ ප්‍රතිලාභ සැලසෙන්න ඕනේ. ඒ වගේම රටවල් දෙකක් සබඳතා ඇති කරගනිද්දි ඒවා ජාත්‍යන්තරය පිළිගත් සම්මතවලට සිදුවිය යුතුයි. ඒ වගේම ඒවායේ තත්ත්වය ඉහළ සහ උසස් විය යුතුයි. ශ්‍රී ලංකාවේ සමීපතම රට සහ සමීපතම අසල්වැසියා ඉන්දියාවයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඓතිහාසික සබඳතාවක් තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතිමය වශයෙන් දේශපාලන හා ආර්ථික වශයෙන් දීර්ඝ කාලයක් මුළුල්ලේ සබඳතා පවතිනවා. මේ නිසා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඉදිරියටත් ඉතා හොඳ සබඳතාවක් පවත්වා ගනීවි යැයි අපි හිතනවා. ඒ වගේම ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට කලාපීය ප්‍රශ්න විසඳීමට එක්ව කටයුතු කරන්න පුළුවන්. විශේෂයෙන්ම ත්‍රස්තවාදය පරාජයට පත් කිරීම සඳහා දෙරටට එක්ව වැඩ කරන්න පුළුවන්. මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය, ධීවර අර්බුදය, මේ ආදී බොහෝ කරුණු රැසක් තිබෙනවා. ඊට අමතරව ආර්ථික අවස්ථා රැසක් තිබෙනවා.

චීනය ගත්තාම, අද වනවිට චීනය ලෝක ආර්ථිකයේ බලවතෙක් බවට පත්ව තිබෙනවා. චීනය කලාපයේ රටවල් මෙන්ම අනෙකුත් රටවල් අතරත් සබඳතා පවතිනවා. ඇමෙරිකාව සහ චීනය අතරත් ඉතා හොඳ සබඳතා තිබෙනවා. දෙරටේ ආර්ථික සබඳතා ඉතාම ඉහළයි. අපි එකට වැඩ කරනවා. චීනය සමඟ අපි හැමවෙලාවෙම එකඟ වෙන්නේ නැහැ. එහෙත් අපි එකට වැඩ කරනවා.

ඒ නිසා සබඳතාවලදී වැදගත් වෙන්නේ විනිවිදභාවය, අවංක බව, ජාත්‍යන්තර පිළිගැනීම සහ ජාත්‍යන්තර සම්මතවලට අනුකූල බව, සාධාරණත්වය යන කරුණු තහවුරු වෙනවාද යන්නයි. ඕනෑම රටක් සමඟ සබඳතා ඇති කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් ඒ කරුණු ගැන විමසන්න ඕනේ. ඇමෙරිකාව ලෙස අපි බලන්නේ සම්මත සහ වටිනාකම් දෙසයි.

ප්‍රශ්නය - ශ්‍රී ලංකාව, ඉන්දියාව හෝ චීනය සමඟ පවත්වන සබඳතා ඇමෙරිකාවට තර්ජනයක් ද ?

පිළිතුර : කිසිසේත්ම නැහැ. මම ශ්‍රී ලංකාව නම්, මම බලන්නේ මේ හැමෝම සමඟ යහපත් සබඳතා ඇති කරගනිමින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ගෙනෙන්නේ කොහොමද කියලා. සියලු කරුණු සලකා බැලීමේදී ශ්‍රී ලංකාවට සෑම රටක්ම වැදගත්.

ප්‍රශ්නය - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ඇමෙරිකාව සමඟ හොඳ සබඳතාවක් තිබුණේ නැහැ. වත්මන් පාලනය ඇමෙරිකාව හොඳ සබඳතාවක් පවත්වාගෙන යන බව කියැවෙනවා. ඒ වගේම වත්මන් ආණ්ඩුව බලයට පත්වුණාම ඇමෙරිකාව ඒ ගැන යහපත් ප්‍රතිචාරයක් දැක්වූවා.  ඔබ පසුගිය කාලයේදී දේශපාලනඥයන් කිහිපදෙනකුම මුණ ගැසුණා. ඇමෙරිකාව සහ මෙරට පාලනය සමඟ ඉදිරි සබඳතා කොහොම වේවිද ?

පිළිතුර : වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති අපි පිළිගත්තා. වත්මන් ආණ්ඩුව යහපත් ප්‍රතිපත්ති රැසක් ඉදිරියට ගෙන ආවා. ශ්‍රී ලංකාවට විකල්ප රැසක් තිබිය යුතුයි. ඉදිරි ගමනක් තිබෙනවා. අවස්ථා රැසක් තිබෙනවා. ඉදිරියේදී පත්වන ඕනෑම ආණ්ඩුවක් අඛණ්ඩ ප්‍රතිපත්ති පවත්වාගෙන යනු ඇතැයි අපි විශ්වාස කරනවා. ප්‍රතිපත්තිවල අඛණ්ඩ බව ඉතාම වැදගත්.

රටේ මීළඟ නායකයා, මීළඟ පාර්ලිමේන්තුව, මන්ත්‍රීවරුන් තෝරාගැනීම කළ යුත්තේ ශ්‍රී ලංකාවේ ජනතාවයි. ඒ සඳහා බලය තිබෙන්නේ අවස්ථාව තිබෙන්නේ ඔවුන්ටයි. ඒ සම්බන්ධයෙන් අපට කරන්න කිසිදෙයක් නැහැ. ඡන්දයෙන් තේරී පත්වෙන ඕනෑම ආණ්ඩුවක් සමඟ අපි වැඩ කරනවා. ඒ සඳහා නිදහස්, ස්වාධීන, සාධාරණ හා විනිවිද ක්‍රියාවලියක් තියේවි කියලා අපි හිතනවා.

ප්‍රශ්නය - ඔබ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණා. කොහොමද ඒ හමුව ?

පිළිතුර : ඉතාම මිත්‍රශීලියි.

ප්‍රශ්නය - මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටියදී ඇමෙරිකාව සමඟ හොඳ තිබුණේ නැති බව කියැවුණා. මහින්ද රාජපක්ෂ මහතා හමුවී මොනවාද සාකච්ඡා කළේ ?

පිළිතුර : කරුණු රැසක් සාකච්ඡා කළා. ඔව්, මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටියදී අභියෝග නොතිබුණු බව කියන්න බැහැ. දුෂ්කරතා අභියෝගාත්මක අවස්ථා තිබුණා. ඒ කාලයේ මම හිටියේ නැහැ. මම ඇවිත් දැන් වසරකට ආසන්න වෙනවා. ඒ කාලයේදී ඔහු සමඟ හොඳ සබඳතාවක් ගොඩ ඇති කරගෙන තිබෙනවා. ඒ වගේම අපි කරුණු රැසක් ගැන සාකච්ඡා කර තිබෙනවා.

ප්‍රශ්නය - ඔබ ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසුණා ද ?

පිළිතුර : නැහැ.

ප්‍රශ්නය - ඔබ ජනාධිපතිවරයා, අගමැතිවරයා, දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් මුණ ගැසුණා ? ඒ සාකච්ඡා කොහොමද ?

පිළිතුර : ඉතාම හොඳින් සාකච්ඡා සිදුවුණා. අපි විවෘත බව අගයනවා. ඒ වගේම අනෙකා තේරුම් ගැනීම ඉතාම වැදගත්. සංවාද කළ පමණින් එකඟ විය යුතු නැහැ. ජනතාව, දේශපාලන පක්ෂ ආදී සියලු දෙනා ගැන විවෘත සන්නිවේදනයක් පවත්වා ගැනීමට අපි සෑම අවස්ථාවකම උත්සාහ කරනවා. අපේ අදහස් බෙදා ගැනීමටත් ඔවුන්ගේ අදහස් තේරුම් ගැනීමටත් එය අවස්ථාවක්. සංවාද කිරීම සහ සාකච්ඡා කිරීම ඉතා වැදගත්. සාකච්ඡා කිරීමෙන් අපට අපේ අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාවක් ලැබෙනවා.

ප්‍රශ්නය - ඇමෙරිකාව ධනවාදය සහ ලිබරල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක්. ජනතා විමුක්ති පෙරමුණ වාමාංශික පක්ෂයක්. එම පක්ෂය පැවැත්වූ සාකච්ඡා කෙසේ ද ?

පිළිතුර : අපි ඉතා හොඳ සාකච්ඡාවක් පැවැත්වූවා. ඔවුන් ඔවුන්ගේ අදහස් කීවා. මම මගේ අදහස් කීවා. එය ඉතාම වැදගත්. සංවාද පැවැත්වීම එකිනෙකා සන්නිවේදනය කිරීම ඉතාම වැදගත්.

ප්‍රශ්නය - ශ්‍රී ලංකාව තිස් වසරක යුද්ධය, ප්‍රචණ්ඩ ක්‍රියා, ආර්ථික අර්බුද ආදී ප්‍රශ්න රැසකට මුහුණ දුන්නා. ඉදිරි පාලනයක් සමඟ ඇමෙරිකාව වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ?

පිළිතුර : අනාගත ආණ්ඩුව සමඟ වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් අපට බාධාවක් නැහැ. විශේෂයෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ව්‍යාපාර කිරීමේ පහසුව සම්බන්ධයෙන් අපි වැඩි අවධානයක් යොමු කරනවා. ඇමෙරිකානුවෙන් රැසක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඇමෙරිකානු සමාගම් ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. ඒ නිසා ජාත්‍යන්තරය පිළිගන්න සම්මත රෙගුලාසි ගෙන ඒම ඉතාම වැදගත්. ව්‍යාපාර කිරීමේ පහසුව ඇති කිරීම තවත් වැදගත් කරුණක්. ඒ වගේම දෙරටට ප්‍රතිලාභ ගෙනෙන ආර්ථික සහ ආරක්ෂක පියවර ගැනීම ඉතා වැදගත්.

අනෙක් අතට ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ ජාත්‍යන්තර මුහුද සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග. ශ්‍රී ලංකා නාවික හමුදාව විශාල වැඩ කොටසක් කර තිබෙනවා. ඇමෙරිකාවද ඊට සහයෝගය දක්වා තිබෙනවා.

පාලනය සම්බන්ධයෙන් ගත්තාම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස අපි ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ සිවිල් සමාජය ශක්තිමත් කිරීමට අපි සහයෝගය දෙනවා. ඇමෙරිකාව ලෙස අපි ආණ්ඩුව එක්ක විතරක් වැඩ කරන්නේ නැහැ. අපි ජනතාව සමඟ, රටේ විවිධ පාර්ශව සමඟ කටයුතු කරනවා.

ප්‍රශ්නය - අවසාන වශයෙන්, එෆ්.බී.අයි. කාර්යාංශය ශ්‍රී ලංකා රජයට වාර්තාවක් ලබා දුන්නා. එහි තත්ත්වය කුමක් ද ?

පිළිතුර :  එෆ්.බී.අයි. කාර්යාංශය සිය උපරිමයෙන් ශ්‍රී ලංකා රජයට සහාය දුන්නා. අප සතුව තිබෙන සියල්ල ශ්‍රී ලංකා රජයට ලබා දී අවසන්. එයින් ප්‍රයෝජන ගැනීම ඒවා භාවිත කිරීම ශ්‍රී ලංකා බලධාරීන් සතුයි.

සාකච්ඡා කළේ : හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS

RELATED POSTS