‘එච්7එන්9’



සිරුර දැඩි ලෙස දුර්වල කරන වැළඳෙන පිරිසෙන් තුනෙන් එකකට මරණය කැන්දන මාරාන්තික කුරුළු උණ රෝගයක් සම්බන්ධයෙන් මේ වනවිට රටවල් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරයි.

‘එච්7එන්9’ යනුවෙන් හැඳින්වෙන ඉන්ෆ්ලුවන්සා වෛරසය මේ වනවිට චීනයේ කුක-ුළු කර්මාන්තය තුළ වේගයෙන් පැතිර යමින් තිබෙන අතර වෛරසය හේතුවෙන් මිනිසුන් සිය ගණනක් ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද තවත් බොහෝ පිරිසක් රෝගාතුර වී ඇතැයි වාර්තා වේ.

මෙම ඉන්ෆ්ලුවන්සා වෛරසය වසංගතයක් බවට පත්වීමට පෙර මෙම මාරාන්තික වෛරසය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට එක්සත් රාජධානිය මේ වනවිටත් පියවර ගෙන තිබේ.

මෙම වෛරසයේ භූගෝලීය පැතිර යෑම සහ එහි ජානමය සංයුතිය මෙන්ම මිනිසුන් අතර බෝවිමට ඇති හැකියාව සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විශේෂඥයෙන් පරීක්ෂණ කිරීමට නියමිතය.

“මෙම වෛරසය මීළඟ වසංගතය බවට පත්වීමේ වැඩි හැකියාවක් තිබෙනවා” යැයි මේ සම්බන්ධයෙන් ‘ඬේලි ටෙලිග්‍රාෆ්’ පුවත්පතට අදහස් දක්වමින් එංගලන්තයේ නියෝජ්‍ය වෛද්‍ය ප්‍රධානී මහාචාර්ය ජොනතන් වැන් ටෑම් පැවැසීය.
“(එච්7එන්9) වෛරසය කුරුල්ලන්ගෙන් මිනිසුන්ට බෝවීමේ වැඩි හැකියාවක් තිබෙන තවත් වෛරසයක් ලෙස පෙන්වාදෙන්න පුළුවන්” යැයි ද මහාචාර්යවරයා කීය.

මහාචාර්යවරයා ඒ බව ප්‍රකාශ මේ වසර ආරම්භයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය මාරාන්තික රෝග බීජයක් සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබියදීය. මෙම මාරාන්තික රෝග බීජය සම්බන්ධයෙන් විද්‍යාඥයන්ට තවමත් හරි හැටි අවබෝධයක් නැති බව ද ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. විද්‍යාඥයන්ටද හරිහැටි අවබෝධයක් නොමැති අතර රෝග බීජයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික ලැයිස්තුවට ඇතුළත් කළ පළමු අවස්ථාවද එය විය.

මෙම වෛරසය මානව වර්ගයාට දැඩි තර්ජනයක් එල්ල කරන වෛරස 10ක් අතරින් එකක් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. ඉබෝලා සහ සිකා යන වෛරස ද එම වෛරස 10 අතරට ඇතුළත් වේ.

එච්7එච්9 මිනිසුන්ට වැළැඳී ඇති බව මුලින්ම අනාවරණය කරගත්තේ 2013 වසරේ මාර්තු මාසයේදීය. එතැන් මේ මේ දක්වා කාලයේදීය 1,625 දෙනකු වෛරසයට ගොදුරු වී තිබෙන අතර කැනඩාවෙන් සහ මැලේසියාවෙන් සිදුවීම් දෙකක් වාර්තා වී තිබේ.

ආසාදනයට ලක්වූ පිරිසෙන් 623 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර ඒ අනුව මරණ අනුපාතය සියයට 38කි.
“මෙම වෛරසයේ මරණ අනුපාතය මෙතෙක් වාර්තා වූ මානව වසංගත වෛරසවලට වඩා ඉතා වැඩි අගයක්” යැයි මහාචාර්ය ජොනතන් වැන් ටෑම් කීය. එහෙත් සියයට 38 ක මරු කැඳවන මෙම වෙරසයේ තත්ත්වය වෙනස් වී එම සංඛ්‍යාව පහළ යා හැකි බව මහාචාර්යවරයා පෙන්වාදෙයි.

මේ අවස්ථාව වනවිට ‘එච්7එන්9’ වෛරසය මිනිසුන්ගෙන් මිනිසුන්ට බෝ නොවේ. වෛරසය අඛණ්ඩව වෙනස්වන බැවින් ඕනෑම අවස්ථාවක වෙනස්කම් සිදුවිය හැකි යැයි විද්‍යාඥයෝ බිය පළ කරති.

හර්ෂණ තුෂාර සිල්වා

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS