ස්වීඩන දැරියගේ නම සාම තෑග්ගට



දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ඊට එරෙහිව හඬ නගන ස්වීඩන ජාතික 16 හැවිරිදි මානව ක්‍රියාකාරිණිය ග්‍රෙටා තන්බර්ග්ගේ නම ද 2019 වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කළ බව නෝර්වේ රාජ්‍යයේ සමාජවාදී ජනාධිපති ෆ්‍රෙඩී ඇන්ද්‍රේ වෙස්ට්ගාද් පවසයි.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් හඬ නගන මානව ක්‍රියාකාරිනියක ලෙස ග්‍රෙටා ප්‍රසිද්ධියට පත් වූයේ පසුගිය 2018 අගෝස්තුවේදීය. ඒ ඇය සෙසු පාසල් දරු දැරියන්ට අභාෂයක් වෙමින්, ස්වීඩනයේ පැවැති විරෝධතාවලනි.

පසුගිය ජනවාරියේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව පැවැත්විණි. ඊට ග්‍රෙටා සහභාගී වූවාය. එහිදී ඇය සමුළුවට එක්වුණු ලෝක නායකයන් හමුවේ විශේෂ කතාවක් ද පැවැත්වූවාය.

එපමණක් නොව, ලෝක නායකයන් ඉදිරියේ නොබියව කියා සිටියේ, දේශගුණික විපර්යාස පිටුදැකීම වෙනුවෙන්, වෙනසක් සිදුවිය යුතු බවත් ලෝක නායකයන් කැමැති වුණත් නැතත්, එම වෙනස සිදුවනු ඇති බවත්ය.

නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් මෙවර තම නම යෝජනා කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත් වන බවත්, පාසල් දරු දැරියන් සමඟ එක් වී, දේශගුණික විපර්යාස පිටුදැකීම වෙනුවෙන් දිගටම විරෝධතා පවත්වන බවත් ග්‍රෙටා ට්විටර් පණිවුඩයක් හරහා දන්වා ඇත. ග්‍රෙටා ට මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමිවුණොත්, එම ත්‍යාගලය හිමිවන ළාබාලතම තැනැත්තා වන්නේ ඇයයි.

2014 වසරේ දී කොබෙල් සාම ත්‍යාගය හිමි කරගත්තේ පාකිස්තාන දැරිය මලාලා යූසොෆ්සායිය. ඒ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් ඇය කළ මෙහෙය සහ කැප කිරීම නිසාය. නොබෙල් සාම ත්‍යාගය හිමිවුණු ළාබාලතම පුද්ගලයා මලාලාය. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 17 ක් විය.

නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සිදුවන්නේ දෙසැම්බර් 10 වැනිදාය. ඒ, නොබෙල් කමිටුව පිහිටුවීමේ පුරෝගාමියා වූ ඇල්ෆ්‍රඞ් නොබෙල් අනුස්මරණය කරමිණි. සාම ත්‍යාගය පිරිනැමීම සිදුවන්නේ නොර්වේ හි ඔස්ලෝ නුවරදීය. සෙසු නොබෙල් ත්‍යාග ප්‍රදානය සිදුවන්නේ ස්වීඩනයේ ස්ටොක්හෝල්ම්හිදීය.

පසුගිය 2018 වසරේ නොබෙල් සාම ත්‍යාගය බෙදී ගියේ කොංගෝ රාජ්‍යයේ ඩෙනිස් මුක්වේගේ සහ ඉරාකයේ කුර්දි තරුණියක වන නාදියා මුරාද් අතරේය. ඒ, සන්නද්ධ අරගලවලදී, කාන්තාවන්ට සිදුවන ලිංගික හිරිහැරවලට එරෙහිව නැගී සිටීමට පියවර ගැනීම නිසාය.

කෝපන්හේගන්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS