සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙක්



මැදපෙරදිග සංචාරක අංශය ගෝලීයව නිරාවරණය කරන, ව්‍යාපාර සහ සංචාරක අවස්ථා ලබාදෙන විශාලතම සංචාරක වෙළඳපොළ වන ඇරබියන් ට්‍රැවල් මාර්කට් අප්‍රේල් 29වන දින ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දී ආරම්භ විණි.

 ත්‍රස්ත ප්‍රහාර හමුවේ වුවද ශ්‍රී ලංකාව නැවත යථා තත්ත්වයට පත් වීම සඳහා, මෙම ප්‍රදර්ශනයට සහභාගීත්වය අනිවාර්ය බව මෙම වසරේ සහභාගි වීම සඳහා එකඟත්වය පළ කළ සාමාජිකයෝ 60 දෙනා එකඟ වූහ.

25 වැනි  වරට පැවැත්වෙන මෙම වෙළඳපොළ වාර්ෂිකව ඩුබායි හි සංවිධානය කෙරෙන සංචාරක වෙළඳපොළකි. 2003 වසරේ සිට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හා ශ්‍රී ලංකාවේ සංචාරක අංශය සමග එක් ව මෙම වෙළදපොළට සහභාගි වෙයි.

පාස්කු ඉරිදා දින සිදු කළ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය ලාංකිකයින් ඇතුලු සියලු ජනතාව සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමෙන් අනතුරු ව හි ශ්‍රී ලංකා සංචාරක ආයතනයෙහි කුටිය විවෘත කෙරිණි. පැමිණෙන්නන් හට අනතුරට පත්වූවන්ගේ පවුල්වලට ශෝක පණිවිඩ ලියා තැබීමට සහ අත්සන් තැබීම සඳහා එම කුටියෙහි ශෝක පණිවිඩ සඳහන් පොතක් තබා ඇත.

පීඩාවට පත් සංචාරකයන් හට සහාය වීමට සහ සංචාරකයන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතබව තහවුරු කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලොවක් හමුවේ තහවුරු කිරීම සඳහා, රජය ගෙන ඇති පියවර සහ වර්තමාන තත්ත්වය ජාත්‍යන්තර හෝටල්කරුවන්ට, ගමනාන්ත කළමනාකාර සමාගම්වලට සහ ගෝලීය මාධ්‍යයට පැවසීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ආයතනයට ඇරබියන් ට්‍රැවල් මාර්කට් හි සහභාගීත්වය අවස්ථාවක් ලබා දී ඇත. මෙම සංචාරක ප්‍රදර්ශණයට සමගාමීව ලංකාවේ සංචාරක ආකර්ශනය යථා තත්ත්වය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් මාධ්‍ය හමුවක් ද සංවිධානය කර ඇති අතර  ඒ සඳහා ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සහ රූපවාහිනී ආයතන පැමිණෙතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය ලෝකය සමග එක්සත් ව ත්‍රස්තවාදයට එරෙහි ව නැගී සිටියි. මේ භයානක ඛේදවාචකය නිසා වැළපෙන මොහොතක අප ශ්‍රී ලාංකිකයන් සතු ඉවසීමේ ගුණය සමඟ ඉදිරියට යා යුතු ය. එය කළ යුත්තේ අපගේ නිවස වන මේ අලංකාර දූපත සහ ශ්‍රී ලාංකේය ජන ජීවිතයේ හදවත බඳු ආගන්තුක සත්කාරය කෙරෙහි ලෝකයේ විශ්වාසය යළිත් පිහිටුවා ගැනීම  යැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කියා සිටී.


RECOMMEND POSTS