රවටා කුවේට් යවන ජාවාරමක්



හෙදියන් හා සාත්තු සේවිකාවන් ලෙස කුවේට් හි සේවයට යන ශ්‍රී ලාංකික කාන්තාවන් රවටා එරටට ගෙන ගොස් වහල් සේවයේ යොදවන පිරිසක් පිළිබඳව එකී ජාවාරමට හසුව මිදී ආ කාන්තාවක ‘ලංකාදීපයට’ හෙළි කළාය. මේ එම විශේෂ අනාවරණයයි.

මෙම ජාවාරමට මෙරට විදේශ රැකියා ආයතන කිහිපයක්ම හවුල් වී සිටින අතර කුවේට් හි ශ්‍රී ලාංකික කාන්තාවක් විසින් මෙහෙයවනු ලබන ඒජන්සියක් ද හවුල්ව සිටින බව එකී කාන්තාව හෙළි කළාය.

හෙදියන් හා සාත්තුසේවිකාවන් ලෙස කුවේටයට යන කාන්තාවන්ට මෙරට දී රැකියා ගිවිසුම අදාළ නිවස සමග අස්සන් කිරීම නීතිමය අව්‍යශ්‍යතාවයක් වන නමුත් ශ්‍රී ලාංකික ඒජන්සිය විසින් අස්සන් කිරීම සඳහා ලබාදෙන ගිවිසුම් ව්‍යාජ ඒවා බවත් ඔවුන් ගෙන ගොස් කුවේට් හි රානි නමැති කාන්තාවක විසින් පවත්වාගෙන යනු ලබන කාමරයක එම කාන්තාවන් සිරකර තබාගෙන අලෙවි කරන බව ද ඇය කීවාය.

එමෙන්ම වෘත්තිය හෙදි වශයෙන් සඳහන් ව තිබු තම ගමන් බලපත්‍රය මෙම ඒජන්සිය විසින් ගෘහ සේවිකා ලෙස සඳහන් කර වෙනස් කර තිබු බවත් ඒ පිළිබඳව තමන් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමටත් බලාපොරොත්තු වන බව ද ඇය කීවාය.
මෙසේ ලංකාදීපයට තොරතුරු අනාවරණය කරනු ලැබූයේ පිලියන්දල පදිංචි සුදුසුකම් ලැබූ හෙදියකි. ඇය ඉකුත් අගෝස්තු 11 වැනිදා එරටට ගොස් ඇති අතර වංචාකාරී ලෙස ඇය එහි රැගෙන ගිය අන්දම මෙසේ ලංකාදීපයට හෙලි කළාය.

‘මම කුරුණෑගල මේ ඒජන්සියට ගියේ පත්තරේ දැන්වීමක් දැකලයි. මම අවුරුදු පහක පුහුණුව ලත් හෙදියක්. ඔවුන් අස්සන් කරන්න දුන්න ගිවිසුමේ හවුස් මේඞ් කියල තිබුණා. මම ඒ ඇයි කියා ඇහුවා. වීසා පත්‍රිකාව පවා තිබුණේ අරාබි බසින්. එහි මගේ නම විතරයි ඉංග්‍රිසියෙන් තිබුණේ.

ඒජන්සියේ අය කිව්වේ ඒක සාමාන්‍ය දෙයක්. ගෙදරක වැඩි හිටියෙක් බලාගන්න තියෙන්නේ. ඒක හෝම් නර්සින්. ඒ නිසයි මේ හවුස් මේඞ් කියල තිබෙන්නේ. ගණන් ගන්න එපා කීවා. මට සුදු කමිසය සහ කලිසම නිල ඇඳුම හැටියට මහ ගන්නත් කීවා. නමුත් මගේ ගමන් බලපත්‍රය මගේ අතට දුන්නේ නැහැ. ගුවන් තොටුපලට ඇතුල් වෙන්න මොහොතකට පෙර තමයි මගේ අතට ගමන් බලපත දුන්නේ.

මට මුලින් කිව්වේ එහෙට යද්දි මාව ගෙන යන්න සේවය කරන නිවසින් එනවා කියලා. ඒත් යන දවසේ කිව්වා ඒ පවුලම යුරෝපයේ චාරිකාවක ගිහින් ඒ නිසා එක දවසක් ඔයාට එහේ ඒජන්සියේ ඉන්න වෙනවා කියලා. මමත් හිතුවේ ඇත්තක් කියලා.

එහේ ගියාම මාව ගන්න කවුරුත් ආවේ නැහැ. රාත්‍රි 9 ට ගොඩබැස්ස මම උදේ 3 වනතුරුත් ගුවන් තොටුපලේ හිටියා. 3.30 ට ඒජන්සියේ කෙනෙක් ඇවිත් මාව අරන් ගියා. ගෙනිහින් කාමරයකට දැම්මා. ඒක අඩි 8 යි 10 විතර කාමරයක්. ඒක ඇතුලෙ ලංකාවේ කාන්තාවන් හත් දෙනෙක් හිටියා. උදේම ඒක කරගෙන යන රානි මැඩම් කියන කෙනා ආවා. ඇවිත් මගේ ෆෝන් එක ගත්තා. එතනට තියෙන්නේ එක වැසිකිලියයි. කාමරේට දාල හැම වෙලේම දොර වහනවා. අපට එලියට යන්න දෙන්නේ රෙදි වනන්න විතරයි. එතකොටත් ඒකෙ වැඩ කරන කෙනෙක් ඇවිත් ලඟින් ඉන්නවා. මේ කාමරේ හිර කරල හිටි අය අතර යුද හමුදාවෙන් විශ්‍රාම ගත් නර්ස් කෙනෙක් හා හෙද උපාධිය තියෙන තරුණියන් දෙදෙනෙක් හිටියා.
දවස් 14 ක් මාව එතන තියාගත්තා. හැමදාම උදේට රොටියක් දෙනවා. ඒකේ මයෝනිස් ගාල දෙන්නේ. කන්න බැහැ. රෑට පරිප්පුයි බතුයි. පරිප්පු හදන්නේ වතුරෙන්.

දවස් 14 කට පස්සේ මට ගෙදරක් දුන්නා. ඒ ගෙදර වයසක කාන්තාවකට සාත්තු කරන්නයි මට නියම වෙලා තිබුණේ. ඒ කාන්තාව හොඳයි. ඒත් ඇගේ පුතාගෙන් මට නොයෙක් හිරිහැර වෙන්න පටන්ගත්තා. මාව බේරගත්තෙත් ඒ වයසක කාන්තාව. ඒ හාම්පුතා මගේ බෑග් එක එළියට විසිකරලා මාව එළියට දමල දොර වැහුවා. එහේ එහෙම එලියෙ ඉන්න බැහැ. රස්නෙයි. ඒජන්සියට කිව්වාම මාව ගෙන්න ගත්තා. ඔය ටිකක් මොනව හරි කළාම මොකද කියා බැන්නා. මම කිව්වා මම ආවේ එහෙම එකකට නොවෙයි රස්සාවට කියලා. ඒ මිනිස්සු එහෙම අය නොවෙයි මම බොරු කියන්නේ කියලා පහර දුන්නා.

දවසකට පැය බාගයයි ෆෝන් එකදෙන්නේ. කථා කරන කොට ළඟ ඉන්නවා. හොඳින් ඉන්නවා කියන්න කියල බල කරනවා. නොකිව්වොත් ගහනවා. දවසක් පොලිසිය එනවා කියල කාමරේ හිටි අපි බිංගෙයක් වගේ තැනක හැංගුවා. මම නම් හිතන්නේ ඒ ආවෙ තානාපති කාර්යාලයෙන් කියලයි. ලඟ ඉඳන් පහර දෙමින් මට කියල බලෙන් ලියුමකුත් ලියව ගත්තා. එකෙ මම ආවෙ ගෘහසේවිකා රැකියාවකට කියල ලියව ගත්තා. ඒ වගේම මානසික අසමතුලිතතාව නිසා ආපසු එනවා කියලත් ලියව ගත්තා.

ඒ වගේම අපේ ෆෝන් විසන්ධි කරල දුන්නට ඒ අය ඒව ඔන් කරගෙන ගෙදරට මැසේජ් යවනවා. මට නර්සින් යුනිෆෝම් එක ඇඳල ඉන්න කියල මගේ ෆොටෝ එකක් මගේ ෆෝන් එකෙන්ම අරන් රෑ ඒක ගෙදරට යවල තිබුණා. මාව ආපසු එවන්න මගේ මහත්තයාගෙන් රුපියල් ලක්ෂ දෙකක් සල්ලිත් අරන් තිබුණා. ඒවට රිසිට් දෙන්න බැහැ කියල තිබුණත් මහත්තයා බලෙන්ම රිසිට් අරන් තිබුණා. මම ලංකාවට ඇවිත් මේ ගැන විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කළා. ඒ පැමිණිල්ල ගැන දැන් විභාග කරගෙන යනවා.’ යැයි ද ඇය පැවසුවාය.  

විනීතා එම්. ගමගේ


RECOMMEND POSTS