මාසයක් ෆේස්බුක් නෑ



මාසයක කාලයක් ෆේස්බුක් වෙබ් ජාලය පැපුවා නිව් ගිනියාවේ තහනම් කිරීමට එරට විදුලි සන්දේශ නියාමන කොමිසම තීරණය කර තිබේ.

පැපුවා නිව් ගිනියාවේ විදුලි සන්දේශ අමාත්‍ය සෑම් බැසිල් මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත්තේ, ෆේස්බුක් සමාජ ජාලය හරහා එරට සමාජයට සිදුවන හානිය වැළැක්වීමට සුදුසු යාන්ත්‍රනයක් සකස් කරන තුරු මාසයක් ෆේස්බුක් තහනම් කරන බවය.

පැපුවා නිව් ගිනියාව යනු නිරිතදිග පැසිෆික් නාගරයේ පිහිටා ඇති රාජ්‍යයකි. දූපත් සමූහයක් ද පැපුවා නිව් ගිනියාවට අයත් වෙයි. පැපුවා නිව් ගිනියාව සංචාරක ආකර්ශණයක් දිනූ රටකි. ‘මෝස්බි’ පැපුවා නිව් ගිනියාවේ අගනුවර වන අතර, 2016 වසරේ ලෝක බැංකු වාර්තා අනුව පැපුවා නිව් ගිනියාවේ ජනගහනය මිලියන 8.085 කි.

පැපුවා නිව් ගිනියාවේ අන්තර් ජාලය භාවිතයට ගන්නා පිරිස සියයට 10 ක් පමණක් වුවත්, ෆේස්බුක් සමාජ ජාලය මුල්කොට ගනිමින් සිදුවන ලිංගික අපචාර දිනෙන් දින ඉහළ යෑම, මෙසේ ෆේස්බුක් වාර්ණය කිරීමට ප්‍රධාන හේතුව වී ඇත.

ව්‍යාජ නම්වලින් සහ අනන්‍යතාවලින් පෙනී සිටින කාමාතුරයන් ෆේස්බුක් සමාජ ජාලයට සම්බන්ධ වී, තරුණ දරු දැරියන්, ග්‍රහණයට නතු කර ගන්නා බව ආරක්ෂක අංශ විසින් මේ වනවිට හඳුනා ගනු ලැබ ඇතැයි ද පැවැසෙයි.

ඊට අමතරව, ව්‍යාජ පුවත් නිරන්තරයෙන් ෆේස්බුක් ජාලය ඔස්සේ සංසරණය වන බවත් එය සමාජයට හානිදායක බවත් සන්නිවේදනය කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි. ෆේස්බුක් වෙබ් ජාලය සඳහා නිසි නියාමනයක් නොතිබීම මීට හේතුව බව හඳුනා ගෙන ඇති බවත්, එය සකස් කිරීම මාසයක් පුරා සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත.

ෆේස්බුක් වෙනුවට වෙනම, සමාජයට හිතකර, හිතමිතුරු සමාජ ජාල අඩවියක් හඳුන්වා දීමට තම පැපුවා නිව් ගිනියා රජයේ අවදානය යොමු වී ඇති බව ද සන්නිවේදන කටයුතු අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS