හිඟ වැටුප් දෙයි



වැටුප් ලබානොදී සවුදි අරාබියේ බලෙන් සේවයේ යොදා ගෙන සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් සිවු දෙනෙකුට සවුදි රියාල් 1,55,200 ක් (රුපියල් 4700000 කට ආසන්න මුදලක්) හිඟ වැටුප් ලෙස අය කර දීමට විදේශ රැකියා අමාත්‍යංශය හා සවුදි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත් වී ඇත.

ඔවුන් මේ වනවිට මෙරටට පැමිණ සිටින අතර ඔවුන්ට හිමි හිඟ වැටුප් විදේශ රැකිකයා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය විසින් එම අමාත්‍යංශයේ දී ලබා දුන්නාය.

කුලියාපිටිය, කබලවද, දීගල්ල හි පදිංචි ඉන්ද්‍රානි මල්ලිකා මහත්මිය 2003.01.16 දින සෞදි අරාබියට ගෘහ සේවිකාවක් ලෙස විදේශ ගතවී තිබේ. ඇය 2017.06.20 දින ලංකාවට පැමිණෙන තෙක්ම එකම නිවසේ වසර 14කට අධික කාලයක් සේවය කර තිබේ. මුල සිටම ඇයගේ වැටුප් මුදල ලබා දී නැත. පසුගිය වසර කිහිපයකදීම එම නිවැසියන් සමගින් දබර කරමින් වැටුප් ඉල්ලා සිටියද එය නොලැබින.

පසුව ඇය විසින් එරට පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. අවසානයේදී පොලිසිය නිවැසියන් තානාපති කාර්යාලයට කැඳවා ඇයගේ හිඟ වැටුප රියාල් 50000ක් එනම් ශ්‍රී ලංකා මුදලින් රු.2,033,170.00 තානාපති කාර්යාලයට ලබාදීමෙන් අනතුරුව ඇය ලංකාවට පැමිණ ඇත.

පැල්මඩුල්ල විද්‍යාල මාවතේ පදිංචි රාසයියා ලෙච්චමි මහත්මිය 2010.07.04 දින සෞදි අරාබියට ගිය අතර එකම නිවසේ වසර 15ක් පමණ සේවය කර ඇති අතර සේවය කළ පළමු වසරට පමණක් වැටුප් ලබාදී තිබේ. ඉදිරි වර්ෂ සඳහා හිඟ වැටුප් ලබාගැනීමට සේවා ස්ථානයෙන් පිටව ගොස් පොලිසිය වෙත පැමිණිලි කර තිබේ. අනතුරුව කඳවුරක රැඳී සිට එමඟින් හිඟ වැටුප් ලබාගෙන තානාපති කාර්යාලයට පැමිණ ඇත.  එහි දින 8ක් රැඳී සිට 2016.07.18 දින ලංකාවට පැමිණ තිබේ. හිඟ වැටුප ලෙස සෞදි රියාල් 43,200 ශ්‍රී ලංකා රු. 1,770,828.48 ක මුදලක් හිමි වී තිබේ.
රුවන්වැල්ල ටේ්‍රස්වත්ත පදිංචි පලනිමුත්තු පුෂ්පරානි මහත්මිය 2006.03.29 දින ගෘහ සේවිකාවක් ලෙස සෞදියේ රැකියාව සඳහා ගොස් ඇත. ඇයට වැටුප් නොලැබී ඇති අතර, ඒ පිළිබඳව තානාපති කාර්යාලයට පැමිණිලි කිරීමෙන් අනතුරුව කාන්තා සුභසාධන කඳවුරේ වසර එක හමාරක පමණ කාලයක් රැඳී සිට අදාළ නිවසෙන් හිඟ වැටුප් ලබාගෙන 2017.07.12 දින දිවයිනට පැමිණ තිබේ. හිඟ වැටුප ලෙස සෞදි රියාල් 42,000 ශ්‍රී ලංකා රු. 1,714,049.00 ක මුදලක් හිමි වී තිබේ.

දොම්පේ මීගහවත්ත පදිංචි ආර්.ඒ.ගුණවතී මහත්මිය 2012.07.28 සෞදි අරාබියට ගෘහ සේවිකාවක් වශයෙන් ගොස් ඇත. පළමු වසරේ වැටුප් ලැබුන ද, ඉතිරි වසර 4 සඳහා වැටුප් ලබාදී නොමැත. සෞදි තානාපති කාර්යාලයට පැමිණිලි කිරීමෙන් පසු අදාළ වැටුප වාරික 3කින් ලබාදීමට එකඟ වී තිබේ. ඒ අනුව හිඟ වැටුප ලෙස රියාල් 20,000 ක් ශ්‍රී ලංකා රු. 813,295.00 ලෙස ලබාගෙන 2017.07.06 දින දිවයිනට පැමිණ තිබේ.

(විනීතා එම්. ගමගේ)

 


RECOMMEND POSTS