හිඟ වැටුප් දීලා



ව්‍යාජ තොරතුරු සපයමින් දාහතර හැවිරිදි වියේ දී විිදේශ ගතවී වසර 15 ක් තිස්සේ කිසිදු වැටුපක් නොලැබ සෞදියේ වහල් මෙහෙයේ යෙදුණු ශ්‍රී ලාංකික කාන්තාවකට රුපියල් හතලිස් හය ලක්ෂයක හිඟ වැටුප් ලබා දීමට  විදේශ රැකියා අමාත්‍යංශයේ මැදිහත් වීම මත සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත්ව තිබේ.

1986 නොවැම්බර් 11 දින උපත ලැබු මඩලකපුව එරාවුර්හි පදිංචිකාරියක වන ඥාණප්‍රගාසම් නිශාන්තිනි මෙසේ හිඟ වැටුප් ලබාදුන් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.

2000 වසරේ දී ලියාපදිංචියකින් තොරව ව්‍යාජ ලේඛන පෙන්වා විදේශ ගත වී ඇති ඇය වසර 15 දිම එකම නිවසක සේවය කර ඇති අතර මුළු කාලය තුළම කිසිදු වැටුපක් ලබා නොමැත. 

2015 වසරේ ඇය සේවයකළ නිවසින් පැන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුභසාධක මධ්‍යස්ථානයට ගොස් ඇති අතර ඇය පිළිබඳ තොරතුරු දැන ගත් විදේශ රැකියා ඇමතිනී තළතා අතුකෝරල මහත්මියගේ උපදෙස් මත තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක ඉන්දික තිලකරත්න මහතා සෞදියේ කම්කරු අමාත්‍යංශයට කළ පැමිණිල්ලක් මත මෙම හිඟ වැටුප ලබාගැනීමට හැකිවී තිබේ.

මෙම මුදල ඉතිහාසයේ ගෘහ සේවිකාවකට හිඟ වැටුපක් ලෙස ලබාගත්  ඉහළම මුදල වන බව ද කාර්යංශය කියයි.
ඇය සේවයකළ නිවසේ හිමිකරුට එරෙහිව එරට රජය මේ වන විට නීතිමය ක්‍රීයාමාර්ග ගෙන  තිබේ. ඇය මේවනවිට තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රැඳී සිටින අතර ඉක්මණින්ම මෙරටට ගෙන්වා ගන්නා බව කාර්යංශය කියයි.
 ඇගේ බාල සොයුරා සහ මව මඩකලපුව එරාවුර්හි ජීවත්වන අතර පියා මේ වනවිට මිය ගොසිනි.

ඇයගේ හිඟ වැටුප් ලබාදීමට ක්‍රියාකළ සෞදි තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක ඉන්දික තිලකරත්න මහතා හා භාෂා පරිවර්තක ඉෂාම් අලි මහතා ඡායාරූපයේ වෙති.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS