සෞදිය සමග සාකච්ඡා



ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ ප්‍රමිතිකරණ ආයතනයේ මහලේකම් සෞද් එන්.අල් කුසාබි සහ සෞදියේ ශ්‍රී ලංකා තානාපති ආස්මි තාසිම් මහතා අතර හමුවක් ඉකුත්දා රියාද් නුවර  පිහිටි කවුන්සිල ප්‍රමිතිකරණ ආයතන මූලස්ථානයේදී පැවැත්විණි.

ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ සාමාජික රටවල් හි වෙළදපොළ වල් සදහා ශ්‍රී ලංකාවෙන් උසස් තත්ත්වයේ භාණ්ඩ ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මෙම හමුවේදී විශේෂ අවධානය යොමුවූ බව රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

එම හමුවේදී අල් කුසාබි මහතා ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවේ පැවසූයේ ගල්ෆ් සහයෝගීතා කවුනසිලයේ සමාජික රටවල් සමග ප්‍රමිතීන් සම්බන්ධීකරණය කිරීම සදහා එම කවුන්සිලයේ ප්‍රමිතිකරණ ආයතනය විසින් විශාල කාර්ය භාර්යයක් ඉටුකරන බවය.

කලාපීය පොදු වෙළදපොළෙහි භාණ්ඩ ගනුදෙනු කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමිතයෙන් යුතු භාණ්ඩ ගනුදෙනු කිරීමේ අවශ්‍යතාවය පිළිබද තම ආයතනය දැඩිව විශ්වාස කරනා බවද මහලේකම් සෞද් එන්.අල් කුසාබි කියා සිටියේය.

එසේම ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ ප්‍රමිතිකරණ ආයතනය සම්බන්ධයෙන් එහි  මහලේකම් සෞද් එන්.අල් කුසාබි මහතා විසින් ලබා දුන් සවිස්තරාත්මක ඉදිරිපත් කිරීම මෙහිදි ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් අගය කර සිටියේය.තවද ශ්‍රි ලංකාවට ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයට අයත් රටවල වෙළදපොළෙන් ඇති වැදගත්කම ගැනද  පැහැදිලි කරදීම ගැන ශ්‍රී ලංකා තානාපතිවරයා මෙහිදී ස්තූතිය පළ කළේය.

ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ ප්‍රමිතිකරණ ආයතනය වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ප්‍රයෝජන ගත හැකි අයුරින් ඒ පිළිබද පුහුණු වැඩසටහන් සහ විශේෂඥයින් හුවමාරු කර ගැනීමට  දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ගැනද මෙම සාකච්ඡාවේදී එකගතාවයට පැමිණි බව රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

මෙම අවස්ථාවට කවුන්සිලයේ ප්‍රමිතිකරණ ආයතනයේ ජාත්‍යන්තර සබදතා අංශයේ ප්‍රධානී ආචාර්ය සකී අල් රුබායි , අධ්‍යක්ෂක ආචාර්ය සුෆියාන් අල් ඉර්හයිම් ඇතුලු පිරිසක්ද  ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක මධූක වික්‍රමාරච්චි , ශ්‍රී ලංකා තානපති කාර්යාලයේ බහුපාර්ශවීය කටයුතු පිළිබද  මොහොමඩ් අසීම් යන මහත්වරැන්ද එක් වූහ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS