සෞදි රජු අනුප්‍රාප්තිකයා ලෙස පුතා නම් කරයි



තමාගෙන් පසු රජකම හිමිවීමට නියමිත ඔටුන්න හිමි කුමරු 57 හැවිරිදි මොහොමද් බින් නයෙෆ් බින් අබ්දුල්ලාසි අල් සෞද් වෙනුවට, තම පුතු 31 හැවිරිදි මොහොමද් බින් සල්මාන් අල් සෞද්ට රජකම ලබා දීමට සෞදි රජු සල්මාන් බින් අබ්දුල්ලාසි අල් සෞද් තීරණය කර ඇත.

රජු මේ බව දන්වා ඇත්තේ රාජ ආඥාවක් මගිනි. රජු එසේ තීරණය කර ඇත්තේ සෞදි අරාබියේ රජු තේරීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා කමිටුවේ තහවුරු කිරීමෙන් පසුවය.

එම කමිටුවේ සිටින සාමාජිකයන් 34 දෙනාගෙන් 31 දෙනකුම කැමැත්ත පළ කර ඇත්තේ මොහොමද් බින් සල්මාන් අල් සෞද්ට මීළඟට රජකම හිමිවිය යුතුයි කියාය.

ඒ අනුව, තම පුතු මොහොමද් බින් සල්මාන් අල් සෞද් තමාට මෙන්ම සහාය ලබා දෙන්නැයි සල්මාන් රජු මක්කම නුවරදී සෞදි වැසියන්ගෙන් ඉල්ලා ඇතැයි ද වාර්තාවේ. සෞදි වැසියන්, සල්මාන් රජුගේ තීරණයට ගරු කරන බව ද සෞදි පුවත් සේවා වාර්තා කර තිබේ.

නව ඔටුන්න හිමි කුමරු නම් කිරීමත් සමඟ රජකම හිමිවීමට නියමිතව සිටි මොහොමද් බින් නයෙෆ් බින් අබ්දුල්ලාසි අල් සෞද් සියලුම තනතුරුවලින් ඉවත් කෙරන බව ද සල්මාන් රජු දැනුම් දී තිබේ.

සෞදියේ මීළඟ රජතුමා වීමට නියමිත මොහොමද් බින් සල්මාන් අල් සෞද් සෞදියේ නියෝජ්‍ය අගමැති ධුරයට පත් වුනු ඇත. මොහොමද් බින් සල්මාන් අල් සෞද් මේ වනවිටත් සෞදියේ ආරක්ෂක ඇමැති ධුරය හොබවයි.

රජකම අහිමි වන මොහොමද් බින් නයෙෆ් බින් අබ්දුල්ලාසි අල් සෞද් වසර ගණනාවක පටන් සෞදියේ ත්‍රස්ත මර්දන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. වසර 2003 සහ 2006 කාලයේ අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ ප්‍රහාර මාලාවක් වැළැක්වීමට මොහොමද් බින් නයෙෆ් බින් අබ්දුල්ලාසි අල් සෞද් සමත් විය.

සෞදිය මේ වනවිට යේමන යුද්ධයට සම්බන්ධ වී සිටී. යේමන රජය පෙරළා දැමූ ෂියා මුස්ලිම් ‘හවුති’ සටන්කාමීන්ට එරෙහිව ඇමෙරිකාව සහ සෙසු ගල්ෆ් කලාපීය රටවල් එක් කර ගනිමින් පහර දීම් සිදු කරන්නේ සෞදියයි. ඒ, ආරක්ෂක ඇමැති ලෙස කටයුතු කරන මොහොමද් බින් සල්මාන් අල් සෞද්ගේ මෙහෙයවීමෙනි.

(රොයිටර්)


RECOMMEND POSTS