සුපර් ජම්බෝ ජෙට් මිලදී ගැනීමේ සැලැස්මක්



එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන ‘එමිරේට්ස්’ ගුවන් සේවා සමාගම ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 16ක වටිනාකමින් යුතු ‘එයාර්බස් ඒ 380’ සුපර් ජම්බෝ ජෙට් යානා මිලදී ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.

කෙසේ නමුත් එමිරේට්ස් සහ එයාර්බස් යන සමාගම් දෙකම එම වාර්තා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ ප්‍රතික්ෂේප කළේය. ඩුබායි හිදි පැවැත්වෙන ‘එයාර්ෂෝ’ ප්‍රදර්ශනයේදී මෙම මිලදී ගැනීම සිදුවනු ඇතැයි වාර්තා විය. ‘ඩුබායි එයාර්ෂෝ 2017’ නොවැම්බර් 12 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වුණු අතර තවමත් අදාළ ගනුදෙනුව සිදු වූයේදැයි නිශ්චිතව වාර්තා නොවීය.

එමෙන්ම දැනට ලොව සිටින විශාලතම මගී ජෙට් යානා මිලදී ගන්නා වනුයේ එමිරේට්ස් සමාගමයි. එම සමාගම දැනට ඒ 380 මගී ජෙට් යානා 142ක් ඇණවුම් කර තිබෙන අතර දැනටමත් එම සමාගම වෙත ජෙට් යානා 100 ලබා දී තිබේ.

මේ අතර ඩුබායි හි පැවැති එයාර්ෂෝ ප්‍රදර්ශනයට ‘කටාර් එයාර්වේස්’ සමාගම සහභාගී නොවීය. ගල්ෆ් කලාපයේ ඇති වී තිබෙන අර්බුදය ඊට ප්‍රධාන වශයෙන් හේතු විය. සෞදි අරාබිය ඇතුළු රටවල් තවමත් කටාර් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොපවත්වයි.

(රොයිටර්)


RECOMMEND POSTS