සිනමන් ප්‍රණාම වෙතින් සුවවිරුවන්ට සත්කාර



නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය රටතුළ පරාජය කිරීමේ සටනේ ඉදිරිපෙළ සිටි මෙරට වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට ස්තුතිය පිරිනැමීමේ අරමුණින් සිය හෝටල්වල සියලු පහසුකම් සහතිව රාත්‍රී දෙකක් නොමිලේ ගත කිරීම සඳහා ‘සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්’ සමාගම පියවර ගෙන ඇත.

ඒ අනුව ‘සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්’ සමාගමට අයත් හෝටල් නවයක සියලු පහසුකම් සහිතව රාත්‍රී දෙකක් නොමිලේ ගත කිරීම සඳහා එම සමාගම පැකේජ 1,000ක් හඳුන්වා දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නම් කිරීම් පදනම් කරගනිමින් මෙම පැකේජ පිරිනැමෙන අතර ඒවා ජූලි මස 1 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා වලංගු වේ.

‘සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්’ සමාගමේ ‘සිනමන් සුවවිරු ප්‍රණාම’ වැඩසටහනේ යටතේ මෙය ක්‍රියාත්මක වන මේ සඳහා නම් කරන පිරිසට ‘සිනමන් ග්‍රෑන්ඩ් කලම්බු, සිනමන් ලේක්සයිඩ් කලම්බු, සිනමන් රෙඩ් කලම්බු, සිනමන් බේ බේරුවල, සිනමන් වයිල්ඩ් යාලා, සිනමන් ලොජ් හබරන, සිනමන් සිටඩෙල් මහනුවර, හබරන විලේජ් බයි සිනමන් සහ ට්‍රින්කෝ බ්ලූ බයි සිනමන්’’ යන හෝටල් නවයෙන් එකක් තම නිවාඩු ගත කිරීම සඳහා තෝරාගැනීමට අවස්ථාව හිමි වේ.

මේ අවස්ථාව සනිටුවහන් කිරීම සඳහා ‘සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්’ සමාගම අයත් ‘ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්’ සමූහයේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ‘සිනමන් සුවවිරු ප්‍රණාම’ ප්‍රකාශය අද (16) පිළිගැන්වූයේ ය. 

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS