සංවර්ධන ඉලක්ක සපුරා ගන්න උදව් කරනවා



ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යයි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) පැවසීය.

දෙරට අතර දැනටමත් පවත්නා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම තම රටේ අරමුණ බව රාජ්‍ය ලේකම්වරයා කීය.

අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රාජපක්ෂ මහතා හමුවී මේ බව ප්‍රකාශ කළේය.

මෙම සුහද සාකච්ඡාවේ දී ද්විපාර්ශ්වික හා කලාපීය වැදගත්කමක් සහිත ක්ෂේත්‍ර ගණනාවක් ගැන අදහස් හුවමාරු කර ගන්නා ලදී.

ඉහළ සංවර්ධන මට්ටමක් අත්කර ගැනීමට ගනු ලබන ප්‍රයත්නයේදී ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව එකට සිටීම අමෙරිකාවේ අභිලාෂය බව කී රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතා රට තුළ අමෙරිකානු ආයෝජන ප්‍රවර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් දෙන බව පැවසීය.

සංචාරක ව්‍යාපාරය රැකියා සහ විනිමය ආදායම් උත්පාදනයට ඉවහල්වන ප්‍රධාන ක්ෂේත්‍රයක් බවත්, විධිමත් සැලැස්මක් යටතේ එහි දියුණුවට අත දීමට තම රට සූදානම් බවත් රාජ්‍ය ලේකම්වරයා කීය.

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව නොකඩවා ණය ගැනීම නොව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමෙන් ඉහළ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම යයි ඊට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති රාජපක්ෂ මහතා සඳහන් කළේය.

“විදේශ ආයෝජනයට බාධා කරන නිලධාරීවාදී පරිපාටි ඉවත් කිරීම අපි දැනටමත් පටන් අරන්. ශ්‍රී ලංකාව ඉහළ කෘෂිකාර්මික දියුණුවක් ඇති කර ගැනීමට අවශ්‍ය සාධක සහිත රටක්. අපේ කෘෂිකර්ම ක්ෂේත්‍රය නවීකරණය කළ යුතුයි. ඒ සඳහා විද්‍යාත්මක පර්යේෂණ කළයුතු වෙනවා. ඒ සඳහා අපට උදව් කරන්න”, ජනාධිපතිවරයා පැවසීය.

ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස පවතිනු දැකීම අමරිකාවේ අපේක්ෂාව බව රාජ්‍ය ලේකම්වරයා කීය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩනැගී ඇති මිත්‍රශීලි සබඳතා ගැන ඔහුගේ සතුට පළකළේය. අන්තර්ජාතික වේදිකාවලදී මානව හිමිකම් සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියා කිරීමට ද දෙපාර්ශ්වය එකඟ වූහ.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස්, සහය රාජ්‍ය ලේකම්  බ්‍රයන් බුලතාවෝ, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඩීන් තොම්ප්සන් සහ රාජ්‍ය ලේකම්වරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මේරි කිසල් යන මහත්ම මහත්මීහූ එක්සත් ජනපද දූත පිරිසේ සෙසු සාමාජිකයෝ වූහ.

විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරයට නම් කරනු ලැබ සිටින රවිනාථ අර්යසිංහ යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.


RECOMMEND POSTS