සංචාරක දූපතක් භූමි කම්පාවකින් කැළඹේ



තුර්කිය අසලට පිහිටි ග්‍රීසියට අයත් ‘කොස්’ නමැති කුඩා සංචාරක දූපත ප්‍රබල භූමි කම්පාවකින් කැළැඹී ගියේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.7 ක් ලෙසිනි. භූමි කම්පාව හටගත්තේ අලුයම 1.31 ට ය.

‘කොස්’ සංචාරක නිකේතනවලින් පිරුණු දූපතකි. භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි මුළුමනින්ම බිමට සමතලා විය. මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය. මියගියේ ස්වීඩනයෙන් සහ තුර්කියෙන් පැමිණි සංචාරකයෝ දෙදෙනෙකි. මොවුන් දෙදෙනා මියගොස් ඇත්තේ ඔවුන් සිටි නිවාඩු නිකේතනයේ වහලය කඩා වැටී ඊට යටවීමෙනි. භූමි කම්පාවෙන් තුවාල ලැබූ ගණන 50 ක් යැයි ද පැවැසෙයි.

තුවාල ලැබූ බවත් ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තා වෙයි. කඩා වැටුණු ගොඩනැගිලි සහ නිවාස තුළ සිරවුණු පිරිස් බේරා ගැනීමට ගිනි නිවන හමුදා නිලධාරීහු යුහුසුළු වූහ.

භූමි කම්පාවේ ප්‍රබලත්වයෙන් තුර්කියේ නගර රැසක් ද කැළැඹිණි. ගොඩනැගිලි රැසකට හානි සිදුවිය.

දූපත පිහිටා ඇත්තේ තුර්කියේ බොඞ්රාම් වෙරළ තීරය ආසන්නයේය. භූමි කම්පාවත් සමඟ තුර්කිය ඇතුළු අසල්වැසි රටවලටත් දූපත්වලටත් සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කෙරුණි. පැය කීපයක් ගත වෙද්දී, තුර්කියටත් අසල්වැසි දූපත්වලටත් සුනාමියක් කඩා වැදුණි. එයින් ජීවිත හානි කිසිවක් වාර්තා නොවුණු නමුත් බෝට්ටු සහ ධීවර යාත්‍රා ගසාගෙන විත් වෙරළේ ගොඩගැසුණු බව වාර්තා වේ.

භූමි කම්පාවෙන් කැළැඹී යද්දී, කොස් දූපතේ සිටි සංචාරකයන් ගණන දස දහසක් යැයි දූපත් බලධාරීහු කියති. භූමි කම්පාවත් සමඟ ඔවුන් මහත් සේ බියට පත් වූහ. විදෙස් සංචාරකයන් කුඩා දරු දැරියන් ද එල්ලාගෙන ආරක්ෂිත ස්ථාන වෙත දිව යන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පවා මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS