වෙනීසියට උදම් රළ කඩා වදී



ඇද හැලෙන මහ වැසි සහ තද සුළං හේතුවෙන්, වැනීසියට අඩි 6 ක් උසැති උදම් රළ කඩා වැදුණි. උදම් රළ සමඟ වැනීසියේ ජල මට්ටම ඉහළ ගියේය. වැනීසියේ ජල මට්ටම මේ අයුරින් හිටිහැටියේ ඉහළ ගියේ වසර 50 කට පසුවය.

වෙනීසිය යනු අඩක් මූදු ජලයෙන් යටවූ නගරයකි. වෙනීසිය පිහිටා ඇත්තේ උතුරුදිග ඉතාලියේ වෙනෙට්ගෝ පළාතේය. ලොව පුරා සුන්දර නගරයක් ලෙස ප්‍රසිද්ධ වෙනීසිය සංචාරක ආකර්ෂණයකි. වෙනීසිය කුඩා දූපත් සියයකට වැඩි ප්‍රමාණයකින් සමන්විත නගරයකි. දූපත් සියල්ල පිහිටා ඇත්තේ  කලපුවකය. කලපුව විවර වී ඇත්තේ ආද්‍රියාතික මුහුදටය.

දූපත්වල ඉදි කළ ගොඩනැගිලි සියල්ල අඩක් ජලයෙන් යටවී ඇත. රජයේ ගොඩනැගිලි, පාසල්, පෞද්ගලික ගොඩනැගිලි, නිවාස ආදී සියල්ල මෙසේ ජලයෙන් යටවී ඇත. වෙනීසිය දිනෙන් දින මුහුදට බිලිවන නගරයක් යැයි පරිසරවේදීන් සහ භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ඇද හැලෙන්න වූ මහ වැසි සහ තද සුළං සමඟ මුහුදු රළ නගරයට කඩා වැදීමේ අවදානමක් පවතින බව ඉතාලි කාලගුණ විද්‍යාඥයන් කල් තියා අනතුරු අගවා තිබුණි. ජල මට්ටම ඉහළ ගොස් නිවාස සහ ගොඩනැගිලි ජලයෙන් යටවෙද්දී නගර බලධාරීහු අනතුරු ඇගවීමේ නළා නාද කරන්න වූහ.

අඩි 6 ක් උසැති උදම් රළ කඩා වදිද්දී, වෙනීසියේ වැසියෝ මහත් සේ බියට පත් වූහ. රළ පහරට හසුවුණු පිරිස් මුදා ගැනීම වෙරළාරක්ෂක නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් සිදුවිය. ‘හදිසි උදම් රළ හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්න සිදුවුණා. අනාර්කෂිත ස්ථානවල සිටින පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළා. විදෙස් සංචාරකයන් ගැන සොයා බැලීමට නිලධාරීන් යොදවා තිබෙනවා.’ යැයි වෙනීසියේ නගරාධිපති ලුවීගි බෘග්නාරෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවැසීය.

උදම් රළ හේතුවෙන් වෙනීසියේ ජල මට්ටම මීට පෙර ඉහළ ගොස් ඇත්තේ 1923 සහ 1966 වසරේදී යැයි පැවැසෙයි. 1966 දී, නගරයේ ජල මට්ටම අඩි 6.3 (මීටර් 1.94) කින් ඉහළ ගිය බව ද පැවැසෙයි.

වෙනීසියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS