විලියම්-කේට් ඉම්රාන් හමුවෙති



රාජකීය නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණි බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ බිරිඳ කේට් මිඞ්ල්ටන් හෙවත් කේම්බි‍්‍රජ් ආදිපාදවරිය ඊයේ (15) පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් හමුවූහ.

රාජකීය යුවල ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට අගමැති ඉම්රාන් ඛාන් කටයුතු කළේය. බි‍්‍රතාන්‍ය රාජකීයයකු පාකිස්තානයට පැමිණියේ දශකයකට පමණ පසුවය. අවසන් වරට බි‍්‍රතාන්‍ය රාජකීයයකු ලෙස විලියම් කුමරුන්ගේ පියා චාල්ස් කුමරු පාකිස්තානයේ සංචාරයකට පැමිණියේ 2006 දීය. ඒ, කැමිලා ආදිපාදවරිය සමඟය.

විලියම් කුමරුන්ගේ මව ඩයනා කුමරිය 1996 දී පාකිස්තාන සංචාරයකට පැමිණියාය. ඒ, එවකට කි‍්‍රකට් තරුවක් වූ වත්මන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, ඉදිකිරීමට සැලසුම් කළ පිළිකා රෝහලට අරමුදල් රැුස්කර දීමටය.

ඊයේ රාති‍්‍රයේ විලියම් කේට් යුවල වෙනුවෙන් ඉස්ලාමාද් අගනුවර ජාතික ස්මාරකය කේන්ද්‍රකොට ගනිමින් විශේෂ සාදයක් පැවැත්වුණු අතර යුවල ඊට පැමිණියේ අලංකාර ලෙස සරසන ලද තී‍්‍රරෝද රියකිනි.

සාදය සංවිධානය කර තිබුණේ පාකිස්තානයේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් තෝමස් ඩෲය. පාකිස්තානය පොදු රාජ්‍ය මණ්ඩල සාමාජික රාජ්‍යයක් වන අතර, මහා බි‍්‍රතාන්‍යය සහ පාකිස්තානය අතර සබඳතා යහපත් කර ගැනීම විලියම් කුමරුන්ගේත් බිරිඳ කේට් මිඞ්ල්ටන්ගේත් මෙම පාකිස්තාන සංචාරයේ අරමුණ වෙයි.

විලියම් කේට් මෙම පාකිස්තාන සංචාරයට එක් වී සිටින්නේ ඔවුන්ගේ දරු තිදෙනා වන ජෝර්ජ්, චාලට් සහ ලූවී නොමැතිවය. පාකිස්තානයට පැමිණි රාජකීය යුවලට විශේෂ ආරක්ෂාවක් යෙදීමට පාකිස්තාන රජය කටයුතු කර ඇත. ඒ, හමුදාවේ අධීක්ෂණය යටතේය.

ජාතික ස්මාරකය වෙත පැමිණි විලියම් කේට් යුවලට තී‍්‍රරෝද රිය සපයා දී තිබුණේ පාකිස්තාන රජයයි. දෙදෙනා අඳුරු කොළ පැහැයෙන් යුත් ඇඳුමින් සැරැුසී සිටියේය. 37 හැවිරිදි කේට්, විලාසිතා ශිල්පිනී ජෙනී පැක්හැම් හැඩ ගැන්වූ දිග ගවුමකින් ද විලියම් කුමරු කරච්චි ඇඳුම් නිර්මාණ ශිල්පී නවුෂිමියාන්ගේ ෂෙර්වානී ඇඳුම් කට්ටලයකින් සැරැසී සිටියේය.

රාජකීය යුවල වෙනුවෙන් සාදය පැවැත්වූ පාකිස්තාන ජාතික ස්මාරකය පිහිටා ඇත්තේ එරට ජාතික කෞතුකාගාරය භූමියේය. ස්මාරකය ඉදිකිරීම ආරම්භ වූයේ 2004 දීය. ඉදිකිරීම් කටයුතු 2007 දී අවසන් විය.

පාකිස්තාන වැසියන්ගේ ඒකීයත්වය සංකේතවත් කරමින් මෙහි විශේෂ ස්මාරකය ඉදි කෙරුනු අතර, ‘යහපත් හෙට දිනයක් වෙනුවෙන්, අද දිනය කැප කරමු’ යන පාඨය මෙහි සටහන් කර තිබේ.

ඉස්ලාමාබාද්හිදීය (ඒ.එෆ්.පී./ඬේලිමේල්)


RECOMMEND POSTS