විරෝධය මැද ජනමත විමසුමක්



ස්පාඤ්ඤයෙන් වෙන්වී වෙනම රාජ්‍යයක් බවට පත්වෙනවා ද නැද්ද යන්න තීරණය කිරීමේ අරමුණින්, ස්පාඤ්ඤ රජයේ දැඩි විරෝධය මැද, එරට කැටලෝනියා ප්‍රාන්තයේ ජනමත විමසුමක් අද (1) ආරම්භ විය.

ජනමත විමසුම ස්පාඤ්ඤ ව්‍යවස්ථාවට පටහැනි බව පෙන්වා දෙමින්, ස්පාඤ්ඤ අගමැති මාරියානෝ රාජෝයි ඊට විරෝධය දක්වා තිබුණු අතර, ස්පාඤ්ඤ අධිකරණය පොලිස් නිලධාරීන්ට නියෝග කරන ලද්දේ, ඡන්දපොළවලට රැස්වන කැටලාන් වැසියන් විසුරුවා හරින ලෙසය.

ජනමත විමසුම ආරම්භ වූයේ ස්පාඤ්ඤයේ වේලාවෙන් උදේ 9 ටය. පොලිසිය ඡන්ද පොළට කඩා වැදීම නිසා ඡන්ද කටයුතුවලට බාධා එල්ල වූවා පමණක් නොව කැටලාන් වැසියන් සහ පොලිසිය අතරේ ගැටුම් ද හටගත්තේය. කලහකාරීව හැසුරුණු බොහෝ දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වූහ.

කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන් විය යුතු යැයි කැටලාන් වැසියන්ගෙන් බහුතරයකුගේ මතය බවත් එම මතයට ඉඩ දී ජනමත විමසුම පැවැත්වීමට කටයුතු කළ බවත් කැටලෝනියාව නියෝජනය කරන බෙදුම්වාදී නායක කාල්ස් පුයිජේමොන්ට් මාධ්‍ය හමුවේ පවසා ඇත. පුයිජේමොන්ට් දේශපාලනයට පිවිසීමට පෙර මාධ්‍යවේදියකු ලෙස කටයුතු කර ඇත.
කැටලෝනියාව නිරිතදිග ස්පාඤ්ඤයේ ධනවත් ප්‍රාන්තයකි. කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන් විය යුතු යැයි පවසන බෙදුම්වාදීන් බොහෝ දෙනා කැටලාන් ගොවීන් යැයි ද පැවැසෙයි.

බොහෝ පිරිසක්  උදෑසන සිටම ඡන්ද පෝලිම්වල දකින්න ලැබුණු බව ද මාධ්‍ය වාර්තා කළේය. ස්පාඤ්ඤ මධ්‍යම රජය හරස් වුණු නිසා, ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණු ජනමත විමසුමට කඩාකප්පල් වුණැයි ඇතැම් ස්පාඤ්ඤ පුවත් සේවා වාර්තා කර තිබුණි.

කැටලෝනියා ප්‍රාන්තයේ ඡන්ද මධ්‍යස්ථාන 2,300 ජනමත විමසුම සඳහා යොදා ගැනීමට නියමිතව තිබුණු නමුත් පොලිසිය හරස් වුණු නිසා ප්‍රජා ශාලා කිහිපයක පමණක් ඡන්දය පැවැත්වුණැයි ද පැවැසෙයි.

කැටලෝනියා ප්‍රාන්තයේ අගනුවර ලෙස සැලකෙන්නේ බාසිලෝනාය. ජිනෝරා ටැරගෝනා යන ප්‍රසිද්ධ නගර ඇත්තේ ද කැටලෝනියා ප්‍රාන්තයේය. වර්ග සැතපුම් 12,397 ක් පුරා පැතිරී පවතින කැටලෝනියාව, බාසිලෝනා, ගිරෝනා, ලෙයිඩා, ටැරගෝනා යනුවෙන් පළාත්වලට වෙන්වී ඇත.

මේ අතර, එක්සත් රාජධානිවේ ස්පාඤ්ඤ තානාපති කාලෝස් බැස්ටරාචී අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටියේ, ස්පාඤ්ඤයෙන් වෙන්වී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වීමට කැටලාන් වැසියන් ගන්නා උත්සාහය යුරෝපයේ නව අර්බුදයක් ඇති කිරීමට හේතුවක් වනු ඇති බවය. ස්පාඤ්ඤ තානාපති කාලෝස් බැස්ටරාචී වැඩිදුරටත් පවසා ඇත්තේ ජනමත විමසුම ස්පාඤ්ඤයට එරෙහිව සිදුවුණු කුමන්ත්‍රණයක් කියාය.
කැටලෝනියා ප්‍රාන්තය ස්පාඤ්ඤයෙන් වෙන්වීමට උත්සාහ දරන්නේ 1714 වසරේ ස්පාඤ්ඤයේ පස්වැනි පිලිප් රජු බාසිලෝනාව අත්පත් කරගත් අවස්ථාවේ පටන්ය. 1932 වසරේ දී කැටලෝනියා බලධාරීන් සහ පාලකයන් එක් වී, ස්පාඤ්ඤ රජය යටතේ පවතින රාජ්‍යයක් ලෙස කැටලෝනියාව නම් කර ගත්තේය. ඊට ස්පාඤ්ඤ රජයේ අනුමැතිය හිමිවිය.

කෙසේ නමුත් 1939 දී ෆැන්සිස්කෝ ෆ්‍රැන්කෝ ස්පාඤ්ඤයේ බලයට පත් වෙද්දී, කැටලෝනියා වැසියන් දැඩි ලෙස මර්දනය කළේය. එය ඉතා සූක්ෂමය සිදුවුණු බව අතීතය සිහිපත් කරමින් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ෆැන්සිස්කෝ ෆැන්කෝ කටයුතු කළේ ඒකාධිපතියකු ලෙසිනි.

ෆ්‍රැන්කෝගේ මරණින් පසු, කැටලෝනියා වැසියෝ යළි නිදහස් රාජ්‍යයක් වෙනුවෙන් හඬ නගන්න වූහ. 2006 වසරේ දී, ස්පාඤ්ඤ බලධාරීන් කැටලෝනියාව ‘රටක්’ ලෙස පිළිගැනීමට කටයුතු කළේය. කෙසේ නමුත් 2010 වසරේ දී ස්පාඤ්ඤ ව්‍යවස්ථා අධිකරණය තීන්දු කළේ කැටලෝනියාව ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීම ස්පාඤ්ඤ ව්‍යවස්ථාවට පටහැනි බවය.

(රොයිටර්)

 


RECOMMEND POSTS