විනාඩි 45 න් කොරෝනා සොයන පරීක්ෂණයක්



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ශරීරගත වී, එය සක්‍රීව පවතින්නේදැයි විනාඩි 45 ක් තරම් කෙටි කාලයකින් නිවැරදිව සොයා ගැනීමට හැකි පරීක්ෂණයක් ලොවට හඳුන්වා දීමට ඕස්ට්‍රේලියා වෛද්‍ය පර්යේෂකයෝ සමත් වී සිටිති.

මෙම නව පරීක්ෂණය, පී.සීආර්.පරීක්ෂණයට වඩා වේගවත් බවත්, ප්‍රතිඵල සියයට සියයක් නිවැරදිව දැන ගැනීමට හැකි බවත්, පරීක්ෂණය ලොවට හඳුන්වා දුන් ඕස්ට්‍රේලියාවේ මයික්‍රෝ බයෝ පර්යේෂණාගාර කියයි.

සෙසු වයිරස වර්ග මෙන්ම, ‘කොවිඩ් 19’ යන නමින් හැඳින්වෙන, නව කොරෝනා වයිරසය ද ශරීරගත වූ විට සෛල ආක්‍රමණය කරමින්, පිටපත් සැකැසීම සිදු වෙයි. වයිරසය සක්‍රීයව පවතිනවා යැයි පැවැසෙන්නේ මෙම අවස්ථාවේදී වන අතර ආසාදිත තැනැත්තකුගෙන් තවත් කෙනකුට වයිරසය බෝ වීමක් ද සිදුවන්නේ ද මෙම අවස්ථාවේදීය.

මයික්‍රෝ බයෝ විද්‍යාඥයන් හඳුන්වා දී ඇති නව පරීක්ෂණයේදී, විනාඩි 45 ක් වැනි කෙටි කාලයකදී, වයිරසය සිරුරට ආසාදනය වී ඇති ද යන්න පමණක් නොව, එය සක්‍රීයව පවතින්නේ ද යන්න නිවැරදිව හඳුනා ගැනීමට හැකිවන බව පැවැසෙයි.

මුලදී පී‍.සී.ආර්. පරීක්ෂණය ‘නෙගටිව්’ වුවහොත් සැක රෝගියා හෝ ආශ්‍රිතයන් හෝ නිරෝධායනයේ රඳවා ගනිමින් යළිත් වරක් පී‍.සී.ආර්. පරීක්ෂණවලට යොමු කෙරේ. අක්‍රිය වූ, එසේත් නැතිනම් මියගිය වයිරසය සිරුරේ තිබුණත් පී‍.සී.ආර්. පරීක්ෂණවලදී ප්‍රතිඵලය ‘පොසිටිව්’ වන අවස්ථා තිබේ. එසේ වූ විට දින 14 ක් හෝ 21 ක් හෝ නිරෝධානයේ රැඳී සිටීමට එම පුද්ගලයන්ට සිදුවෙයි. මයික්‍රෝ බයෝ විද්‍යාඥයන් ඔවුන්ගේ නව පරීක්ෂණය හඳුන්වා දී ඇත්තේ එම තත්ත්වය මඟහැර නිවැරදිව ආසාදිතයන් සොයා ගැනීමටය.

“අප මේ නව පරීක්ෂණය ලොවට හඳුන්වා දෙන්නේ ඉක්මණින් කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමේ ප්‍රධාන අරමුණින්. පී.සී.ආර්. පරීක්ෂණයක් කළොත් ප්‍රතිඵල ලැබීමට දින කීපයක් ගතවෙනවා. එපමණක් නොවෙයි, පී.සී.ආර්. පරීක්ෂණවලදී ඇතැම් අවස්ථාවලදී කොරෝනාදැයි සැක කරන රෝගීන් නෙගටියු එසේත් නැතිනම් කොරෝනා ආසාදිතයන් නොවේ යැයි වාර්තා වෙනවා. කොරෝනා ආසාදිතයකුගෙන් තව කෙනකුට වයිරසය බෝ වන්නේ වයිරස සක්‍රීය අවස්ථාවේ පවතින්නේ නම් හෝ එය එහි පිටපත් නිර්මාණය ආරම්භ කර ඇති නම් පමණයි. ඒ බව නිවැරදිව හඳුනා ගන්න අපේ පරීක්ෂණයට පුළුවන්. පී.සී.ආර්. පරීක්ෂණයකදී එසේ හඳුනා ගැනීම සියයට සියයක් සාර්ථක වන්නේ නැහැ. වයිරසය ආසාදනය වී, එය සුවවී, අක්‍රිය තත්ත්වයෙන් සිරුරේ තිබුණත් පී.සී.ආර්. පරීක්ෂණයකදී එම තැනැත්තා පොසිටිව් එසේත් නැතිනම් කොරෝනා ආසාදිතයකු ලෙස තහවුරු වන අවස්ථා දකින්න ලැබෙනවා. එසේ තහවුරු වූ සැණින්, එම තැනැත්තා නිරෝධායනයට යැවෙනවා‍. වයිරසය සිරුරේ සක්‍රීයව තිබෙනවාද? පිටපත් නිපදවීමක් සිදුවෙනවාද? වයිරසය තව කෙනකුට බෝවීමේ අනතුරක් තිබෙනවාද? යන ප්‍රශ්න තුනට මිනිත්තු 45 කින් පිළිතුරු සැපයීමට අපේ නව පරීක්ෂණයට හැකියාව ලැබෙනවා.” යැයි මයික්‍රෝ බයෝ පර්යේෂණාගාරයේ ප්‍රධානී වෛද්‍ය ෆ්ලැවියා හයිජින්ස් වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

බ්‍රිස්බේන්හිදීය (ඕස්ට්‍රේලියා පුවත් සේවා)‍


RECOMMEND POSTS