විදෙස් ඇමති දිනේෂ් වැඩ බාර ගනී



ලෝකයේ කොතැනක සිටියද  ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් හැමවිටම  පෙනී සිටිමින්,  ලාංකිකයන් සහ තානාපති කාර්යාල සමීපව කටයුතු කළහැකි ආකාරයෙන් විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පවත්වාගෙන යෑමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව නව රජයේ විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධූරයේ වැඩ භාර ගනිමින් පැවසීය.

විදේශයන් හී සිටින  සියලු ශ්‍රී ලාංකිකයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමේ අරමුණ ඇතිව මේ ක්‍රියාමාර්ගය ගන්නා බවත් , එය රටේ දියුණුවටද හේතුවන නව පරිච්ඡේදයකට විදේශ අමාතයාංශය පිවිසෙන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

ආගමික ආශිර්වාද මධ්‍යයේ විදේශ සබඳතා අමාත්‍යාංශයේදී  එම ධූරයේ වැඩ බාර ගැනීමේ උත්සවයෙන් අනතුරුව එහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

‘‘අපේ රටට ස්ථාවර, විශ්වසනීය ගමනකට ජනතාව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ 18 දා රාජ්‍ය නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙනාවා. මාස කිහිපයක කාලයක ගතකිරීමෙන් පසුව ජනාධිපතිවරයාට දුන් වරමටත් වඩා විශිෂ්ඨ සහ ඉතිහාසයට එක්වන ජයග්‍රහණයක් ලබාදී තිබෙනවා. ඒ ජයග්‍රහණ්‍ය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ නව රජයට සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට රැගෙන යමින් අපේ මවුබිමේ ආරක්ෂාව හා විශ්වසණීය දියුණුවක් ඇති කිරීමටයි. ශක්තිමත්ම ආණ්ඩුවකට ජනවරමක් ලබාදී තිබෙනවා. ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍යයි රටක් ස්ථාවර කරන්න. එවැනි ජනවරමක් අවශ්‍යයි ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය තහවුරු කරගන්න. ඒ නිසා විදේශ ඇමැතිවරයා ලෙස ශක්තිමත් ආණ්ඩුවක, අභියෝග හමුවේ ප්‍රබල වැඩපිළිවෙලක් ගෙනයන්නට ජනාධිපතිවරයා වෙත තබා තිබෙන විශ්වාසය එලෙසම ඉටුකරන්න අපි කැපවී කටයුතු කළයුතු වෙනවා.

විදේශ අමාත්‍යාංශයේ සියලු නිලධාරීන් මේ වෘත්තියේ මෙන්ම රට වෙනුවෙන් සක්‍රීය ලෙස දායකත්වය ලබාදෙනවා. විදේශ සේවාවේ නිරතවූවන්ගේ වෘත්තිය දැනුම ඉහළ නැංවීමට සහ සක්‍රීය විදේශ සේවයක අවශ්‍යතාවය වෙනුවෙන් අපි පෙනී සිටියා.

ඒ වගේම අපි නොබැඳුනු, මධ්‍යස්ථ මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියකට බැදී සිටිනවා. අපේ අමාත්‍යාංශය හරහා ලබාදිය යුතු ජාතික හා ජාත්‍යන්තර මිත්‍රත්වයේ වැදගත්කම ලෝකයේ කොතැනක හෝ රටවල වාසය කරන  ලාංකිකයන්ට සතුටක් ගෙන දෙන පරිදි තානාපති සේවය හා කිට්ටු මිත්‍රත්ත්වයක් ඇති කිරීමේ අලුත් පරිච්චේදයකට පිවිසිය යුතුයි.

ඒ වගේම අපි ලාංකිකයින්ට කියන්න කැමතියි ඔබ වාසය කරන්නේ කුමන රටක වුවද අපි සමඟ කටයුතු කරන්න හැකියාව ඇති තානාපති සේවයක් පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා අපි කැපවී සිටිනවා. මේ ගමන අපේ මාතෘභූමියේ දියුණුවට පරිවර්තනය වන ගමනයි. අපේ රටේ නිදහස, ස්වාධීනත්වය සහ ඒකීය රාජ්‍යයේ හා ජාතියේ පැවැත්ම, අන්‍යන්‍යතාවය ආරක්ෂා කරගනිමින් රට වැසියන්ට සැමට විශ්වාසයෙන්, සතුටුන් ජීවත්විය හැකි දේශයක් බවට පත් කරලීම අපේ යුතුකමයි.මේ ජනවරම ජනතාවගේ බලාපොරොත්තු, විශ්වාසය සඳහා පරිවර්තනය කිරීමේ ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ නව රජයේ වැඩසටහන සමග ගමන් කළහැකි නව පරිච්ඡේදයකට අපි පිවිසෙනවා.

ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමි, අමාත්‍යවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, රාජ්‍ය ඇමැති සරත් වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණී ගුණවර්ධන, මහාචාර්ය තිස්ස විතාරණ, ජගත් කුමාර, ගෙවිඳු කුමාරතුංග, අනුප පස්කුවල්, තිස්ස කුට්ටිආරච්චි, හිටපු ඇමැතිවරුන් වන ගීතාංජන ගුණවර්ධන, විදේශ අමාතයාංශයේ ලේකම් අද්මිරාල්, මහාචාර්ය ජයනාත් කොළඹගේ,  හිටපු ලේකම් රවිනාථ ආර්යසිංහ, විදේශ අමාතයාංශයේ පොදු සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් රුවන්ති දෙල්පිටිය මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම  අවස්ථාවට එක්ව සිටියහ.

( තිළිණි ද සිල්වා )

නව රජයේ විදේශ සබඳතා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්  දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ සබදතා අමාත්‍යාංශයේදී සිය ධූරයේ වැඩ භාර ගත් අතර අමාත්‍යවරයා නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී ඇරඹූ අයුරු ....

විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල්, මහාචාර්ය ජයනාත් කොළඹගේ, වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, ජගත් කුමාර, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු ද මෙහිවෙති.

ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි


RECOMMEND POSTS