වැලිකතරේ බක්මහ උළෙල



ඈත අතීතයේ මිනිස්සු සොබා දහමට වැඳුම් පිදුම් කළා. ඒ ඉර, හඳ, අව්ව, වැස්ස ආදිය නිසා ඔවුන්ගේ ජීවිතය සරු සාර වූ බැවිනි. ඔවුන් ස්වභාව දහමේ දෙවියන් දැක්කා. ගොවිතැනින් ජීවත් වූ ජනතාවතට ඉරට සඳට හෝ වැසි වලාකුළට වඩා දෙවියෙක් කොයින්ද? ඉරු දෙවියොත් සඳ දෙවියොත් වැස්ස වලාහක දෙවියොත් සිංහල ගොවියන්ට නිසි කලට අව් වැසි ලබා දුන්නා. ඔවුන් ඉරු එළියෙහි කුඹුරෙහිත් සඳ පානෙහි කමතෙහිත් වැඩ කරමින් දෙවියන් උදෙසා කවි ගායනා කළා.

ඉරු දෙවියන්ට සූර්ය දිව්‍යරාජයා යන නම ද ලැබුනා. අවුරුද්දකට වතාවක් බක්මහේ දී සිංහල ගොවියෝ සූර්ව දිව්‍යරාජයා සිහිපත් කොට උත්සවයක් පවත්වනවා. මේ උත්සවය සමඟ අලුත් අවුරුද්දක් උදාවෙනවා.

සිංහල බෞද්ධ දින දර්ශණයට අනුව අප්‍රේල් මාසයේ එනම් බක්මහේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමේ අවස්ථාව යෙදෙන දිනය, ශ්‍රී ලංකික සිංහල හින්දු භක්තිකයෝ නව වසර උදාවන දිනය ලෙස සමරති. ශ්‍රී ලාංකිකයන්ට සංස්කෘතික වශයෙන් වැදගත් මහා සංස්කෘතික මංගල්‍යයක් වන මෙය "අලුත් අවුරුද්ද" ලෙසට හැදින්වෙනවා.

අබුඩාබියේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවත් මෙවර බක්මහ උළෙල අති උත්කර්ෂවත්ව සැමරුවා.

අබුඩාබි තානාපති කාර්යාලය හා බැඳුනු අබුඩාබි සංස්කෘතික පදනම විසින් 07 වන වරටත් සංවිධානය කරන ලද බක්මහ උළෙල 2019, Umm Al Emarat Park හිදී 2019.03.29 වන දින දවස පුරා පැවැත්වූයේ මෙතෙක් පැවති හොඳම බක්මහ උළෙල ලෙස කාගෙත් පැසසුම් ලබමින්ය. නොමිලයේ පැවති මෙම බක්මහ උළෙල සදහා 7000 කට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසක් සහභාගීවීම විශේෂත්වයකි.

ගරු නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී, ඒ.එස්.කාන් මැතිතුමා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරී මණ්ඩලයේ හා පැමිණ සිටි ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00 ට ඇරඹි වැඩ සටහන අබුඩාබියෙහි වෙසෙන සියලුම ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහභාගීත්වයෙන් දවස පුරා පැවැත්වීය.

ගම හරහා දිවීමේ තරඟයෙන් ආරම්භ කෙරුණු බක්මහ උළෙල දරු දැරියන්, වැඩිහිටි තරුණ මහළු සැමටම විනෝදය එක් කරමින් තරඟ ඉසවු 26 කට ආසන්න ප්‍රමාණයන් පැවති අතර ජයග්‍රහකයින්ට වටිනා ත්‍යාග ලබා දීමට ද සංවිධායක මණ්ඩලය කටයුතු සංවිධානය කර තිබුණි. තරග ඉසවු සදහා සහභාගීවීමට පැමිණ සිටි සැම දෙනා දැක්වූ උනන්දුව දෙගුණ තෙගුණ කිරීමට ලක්නද ජාත්‍යාන්තර ගුවන්විදුලි සේවාවේ නිවේදක මහත්ම මහත්මීන්ගේ වැඩ සටහන් මෙහෙයවීම ඉවහල් වූ බව නොකියාම බැරිය. ගමහරහා දිවීමේ තරඟයට හා අවුරුදු කුමරිය තරඟයට ඉදිරිපත් වීමට මෙවර විශේෂ උනන්දුවක් දැක්වීම ද දැකගන්නට ලැබුණි.

සවස ආරම්භ කෙරුණු සංගීත රාත්‍රිය වර්ණවත් කිරීම සදහා ජනකාන්ත ගායන ශීල්පී, චන්දන ලියනආරච්චි, නොයෙල් රාජ් හා සුප්‍රියා අබේසේකර මහත්මිය එක්වී සිටි අතර ෆේත් ලයු සංගීත කණ්ඩායම ඒ සදහා සංගීතයෙන් වේදිකාව වර්ණවත් කරන ලදී.

සියළු දෙනාට නිදුක් නිරෝගී සාමය සතුට සපිරි සුබ නව වසරක් වේවා.

EMBP
අබුඩාබියේ සිට
ජායාරූප - චන්දන මදනායක 

RECOMMEND POSTS