යුරෝපයට යන්න හැදූ ලාංකිකයෝ කොටුවෙති



යුරෝපයට සංක්‍රමණය වෙමින් සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 21 දෙනෙකු රැගත් නෞකාවක් උතුරු සයිප්‍රස් මුහුදු සීමාවේ එරට වෙරළ ආරක්ෂක බලකා නිලධාරීන් ගේ භාරයට ගෙන ඇතැයි බ්‍රිතාන්‍යෙයේ පළවන ‘‘ද ගාඩියන් “ පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කර සිටී.

එම ලාංකික සරණාගතයින් සමඟ අදාළ නෞකාවේ කපිතාන්වරයා සහ සහ එහි සිටි නව දෙනෙකු ගෙන් යුතු  කාර්ය මණ්ඩලයද සයිප්‍රස් ආරක්ෂක අංශ බාරයට ගෙන ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ උතුරු සයිප්‍රසයේ ෆාමාගුස්ටා වරාය ආසන්නයේදීය.

මෙලෙස සයිප්‍රස් ආරක්ෂක අංශ බලධාරීන් විසින් සිය බාරයට ගෙන ඇත්තේ ස්විස් ජාතිකයෙකුට අයත් මීටර් 40 ක් දිගැති සී ස්ටාර් නමැති අදාළ නෞකාවයි. මෙම පිරිස රැගත් නෞකාව මේ මස මුලදී ජිබුටි රාජ්‍යයේ සිට මධ්‍යධරණී මුහුද හරහා ඉතාලියට අයත් සිසිලි දූපත් හි කැටානියා  වෙරළ තීරය බලා යාත්‍රා කිරීමට නියමිතව තිබූ බවද සඳහන්ය.

එම නෞකාවෙන් ඉතාලිය බලා යාම සඳහා නැවේ සිටි එක් අයෙකු විසින් යුරෝ 10,000  බැගින් නෞකාවට ගෙවූ බව ත් ඔවුන් සඳහන් කර තිබේ.

මෙම ලාංකිකයින් රැගත් නෞකාව සයිප්‍රස් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත්තේ, නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් 21 දෙනා සංක්‍රමණිකයින් හෝ පුහුණු වන නාවිකයින් ද යන්න පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් උද්ගතවීම හේතුවෙන් යැයි ගාඩියන් වාර්තාවේ දැක්වේ.

මේ අතර ලාංකිකයින් පිරිස අතරින් සිටි ලාංකිකයින් පස් දෙනෙකු තමන්ට සයිප්‍රසයේ රැකවරණ අවශ්‍ය බව සයිප්‍රස් ආරක්ෂ අංශ බලධාරීන් හමුවේ පවසා ඇත

වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා නෞකා කාර්ය මණ්ඩලය රඳවා ගෙන ඇති අතර නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද ගාඩියන් පුවත් වෙබ් අඩවි වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරියෙකු කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව දැන ගන්නට ලැබුණ ද නිල වශයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව ය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS