මොසුල් නුවරදී කුර්දි මාධ්‍යවේදිනිය මරුට



ඉරාකයේ මොසුල් නුවර යුද වාර්තාකරණයේ යෙදී සිටි කුර්දි වාර්තාකාරිණියක IS ත්‍රස්තයින්ගේ බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉරාක මාධ්‍ය වාර්තා කරන්නේ, වාර්තාකරණයේ යෙදී සිටියදී මාර්ගායේ අටවා තිබූ බෝම්බයකට හසු වීමෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව ය.

ෂීෆා ගාඩි නම් 30 හැවිරිදි ඇය ඉරාකයේ රූඩෝ නාලිකාවේ ජනමාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළා ය.

පිපිරීමෙන් ෂීෆාගේ කැමරා ශිල්පියා ලෙස කටයුතු කළ යූනිෆ් මුස්තෆා ද බරපතළ තුවාල ලබා තිබේ.

රූඩෝ නාලිකාව පවසන්නේ, සිය නාලිකාව මොසුල් යුද බිමේ වාර්තාකරණය ආරම්භ කළ දින සිට ෂීෆා දිනපතා ම නාලිකාව වෙනුවෙන් යුද වාර්තාවක් ගෙන ආ බව ය.

මේ වනවිට ඉරාකයේ මොසුල් නුවර IS ත්‍රස්තයින් සහ ඉරාක හමුදාව අතර දැඩි යුද ගැටුම් පවතින අතර රජයේ හමුදාව ත්‍රස්ත ග්‍රහණයේ තිබූ මොසුල්හි බටහිර කොටසේ සිය බලය තහවුරු කර ගත්තේ පසුගිය සිකුරාදා ය.

IS ත්‍රස්තයින් 2014 වසර වන විට ඉරාකයේ උතුරු කොටසේ මෙන් ම බටහිර කොටසේ ද සිය බලය පතුරුවා තිබුණ ද මේ වන විට ඉරාකයේ මෙන් ම සිරියාවේ ද විශාල ප්‍රදේශයක ඔවුන් අත්කරගෙන තිබූ බලය ඔවුන්ට අහිමි වෙමින් තිබේ.

 

(තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි.........

 


RECOMMEND POSTS