මාර්ක් සකර්බර්ග් කරුණු පහදයි



මිලියන 50 ක පරිශීලන දත්ත අවභාවිතයට ලක්වීම සම්බන්ධයෙන් එල්ල වුණු චෝදනාවලට පිළිතුරු දීමට කොංග්‍රස් මණ්ඩල විමර්ශන කමිටුවක් හමුවේ පෙනී සිටීමට ෆේස්බුක් නිර්මාතෘවරයා මෙන්ම එහි ප්‍රධාන විධායක අධ්‍යක්ෂවරයා ද වන මාර්ක් සකර්බර්ග්ට සිදුවිය.

33 හැවිරිදි කෝටිපති ව්‍යාපාරික සකර්බර්ග් පෙනී සිටියේ, සෙනෙට් කමිටු ත්‍රිත්වයකින් සමන්විත විශේෂිත කොංග්‍රස් මණ්ඩල විමර්ශන කමිටුවක් හමුවේය. අධිකරණ, වාණිජ සහ තොරතුරු තාක්ෂණය යනු එම කමිටු ත්‍රිත්වයයි.

සෙනෙට් සභිකයන් හතලිස් දෙදෙනෙක් සකර්බර්ග්ගෙන් ප්‍රශ්න කළහ. විමර්ශන කමිටුව දෙදිනක් පුරා එය පැවැත්වෙයි.

විමර්ශන කමිටුව හමුවේ පෙනී සිටිමින්, ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, සකර්බර්ග් දිගින් දිගටම කියා සිටියේ, අද ලොව කා අතරේත් ජනප්‍රිය සමාජ ජාල වෙබ් සේවාවක් වන ෆේස්බුක් තමාගේ නිර්මාණයක් බවත්, ඒ සම්බන්ධයෙන් සියලු වගකීම් තමන් බාර ගන්නා බවත්ය. ෆේස්බුක් පරිශීලන දත්ත අවභාවිතයට ලක්වීම ගැන සකර්බර්ග් විමර්ශන කමිටුව හමුවේ දිගින් දිගටම සමාව ඉල්ලා සිටියේය.

මීට වසර 14 කට පෙර, හාවඞ් විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයෙන්, ෆේස්බුක් සමාජ ජාලය ආරම්භ කළ තැන පටන් අද එය ලොව පුරා අතිශය ජනප්‍රිය වී ලොකු කුඩා කවුරුත් ඊට ‘ඇබ්බැහිවී’ සිටින බව සකර්බර්ග් විමර්ශන කමිටුව හමුවේ පෙන්වා දුන්නේය.

ෆේස්බුක් පරිශීලකයන්ගේ දත්ත අවභාවිතයට ලක්වුණු බව තමන් පිළිගන්නා බවත්, මින් ඉදිරියට එසේ වීම වැළැක්වීමට නිසි ආරක්ෂක ක්‍රමවේදයක් සකස් කරන බවත් සකර්බර්ග් පෙන්වා දුන්නේය. ෆේස්බුක් ජාලයට නිරන්තරයෙන් රුසියානු පරිගණක විශේෂඥයන්ගේ තර්ජන එල්ල වන බවත්, එම තර්ජනවලට මුහුණ දීම තම තාක්ෂණ ශිල්පීන්ට අභියෝගයක් වී ඇති බවත් සකර්බර්ග් පැහැදිලි කළේය.

‘ෆේස්බුක් හෝ වෙනත් සමාජ ජාල හෝ තම තමන්ගේ පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂා කිරීමට වගබලා නොගන්නේ නම්, එම සමාජජාල සම්බන්ධයෙන් තිරණයක් ගැනීමට අපට සිද්ධ වෙනවා.’ යැයි විමර්ෂන කමිටුවේ සිටි ෆ්ලොරීඩා සෙනෙට්සභික බිල් නෙල්සන් එම අවස්ථාවේදී පිළිතුරු දෙමින් කියා සිටියේය. වාණිජ කමිටුව නියෝජනය කළ එම කමිටුවේ සිටි ජ්‍යෙෂ්ඨතම ඩිමොක්‍රටික් සෙනෙට් මන්ත්‍රීවරයා මොහුවෙයි.

රිපබ්ලිකන් අපේක්ෂකයකු ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වූයේ 2016 වසරේ ජනාධිපතිවරණයෙනි. ට්‍රම්ප්ගේ මැතිවරණ කටයුතු ඇරැඹුණේ 2014 වසරේ සිටය. එම මැතිවරණ කටයුතු පරිපාලනය කරනු ලැබුණේ බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාක්මක‘කේම්බ්‍රිජ් ඇන්ලිටිකා’ නමැති උපදේශන සමාගමක් මගිනි.

එම සමාගම ෆේස්බුක් ගිණුම් හිමියන් මිලියන 50 කගේ තොරතුරු භාවිතා කරමින්, 2016 වසරේ ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදු කළ බව මේ වනවිට තහවුරු වී තිබේ.

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් බලපෑම් කිරීමට රුසියානුවන්ට ද ෆේස්බුක් ජාලය ඉවහල් වී ඇති බවට චෝදනා එල්ල වී ඇත. මාක් සකර්බර්ග් කොංග්‍රස් විමර්ශන කමිටුව හමුවේ පෙනී සිටිමින් කරුණු දැක්වීමට සිදුවූයේ මේ නිසාය.

ප්‍රශ්න අසමින්, ෆේස්බුක් ප්‍රධානියා අසරණ තත්ත්වයකට පත් කිරීමට සමත් වූයේ 40 වසර දේශපාලන අත්දැකීම් ඇති ඉලිනෝයි ජනපදය නියෝජනය කරන ඩිමොක්‍රටික් පාක්ෂික සෙනෙට් සභික 73 හැවිරිදි ඩික් ඩර්බන්ය.

‘ඔබ මේ කමිටුව හමුවේ පෙනී සිටින්න වොෂින්ටනයට ආවා. ඊයේ සවස ඔබ නවාතැන් ගත් හෝටලයේ නම අපටය කියන්න පුළුවන්ද ? ඔබ අන්තිමට කෙටි පණිවුඩයක් යැව්වේ කාටදැයි අපට කියන්න පුළුවන්ද ?’ යැයි ඩර්බන්, ෆේස්බුක් ප්‍රධානියාගෙන් විමසුවේය.

තත්පර කීපයකය නිහැඬියාවකින් පසු ෆේස්බුක් ප්‍රධානී සකර්බර්ග් කියා සිටියේ තමාට එය කළ නොහැකි බවය. ‘තම තමන්ගේ පෞද්ගලික තොරතුරු තමන් නොදන්නා අයට පත්වෙනවාට ඔබ අකමැතියි. ඒ වගේමයි අනෙක් හැමෝම අකමැතියි. ඒ ගැන විමසීමක් කරන්නයි අද අප මේ රැස්වුණේ’ යැයි සෙනෙට් සභික ඩර්බන් පෙන්වා දුන්නේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS