මායා පුරයෙන් මතුවුණු ආරක්ෂකයෝ



මෙක්සිකෝවේ අගනුවර වන මෙක්සිකෝ සිටී හි සිට කිලෝ මීටර් 50 ක් දුරින් පිහිටි තියෝටියුවකාන් ඉපැරණි මායාවරුන්ගේ පුරවරයක්. මෙය සංචාරක ආකර්ෂණයක් සේම ලෝක උරුමයක් ද වෙයි. නටඹුන් වී ගොස් ඇති මේ පුරය අබිරහස් පිරුණු ස්ථානයක් ලෙස ද සැලකෙයි.

2003 වසරේ දී මේ පුරය ගවේෂණය කරන පුරාවිද්‍යාඥයන් පිරිසකට උමං පද්ධතියක් හමුවිය. මේ උමං රාජකිය සොහොන් ගැබක් තෙක් දිවෙනවා යැයි  පුරාවිද්‍යාඥයෝ අනුමාන කළහ. එහෙත්, ඊට ඇතුළු වී ඇතුළත ඇත්තේ මොනවාදැයි බැලීම සිදු නොකෙරුණි. ඊට හේතුව මිනිස් පහස නොබලා අවුරුදු 1,800 තෙක් සුරැකිව පැවැති මේ උමං පද්ධතිය මිනිස් පහස ලැබීමෙන් විනාශ විය හැකි යැයි බිය පළ කර නිසාය.

පසුගියදා මේ උමං පද්ධතිය ගවේෂණයට යැවුණේ කැමරා සවි කළ රොබෝ ගවේෂණ යන්ත්‍රය. එම ගවේෂණ කටයුත්තට නායකත්වය දී ඇත්තේ පුරාවිද්‍යාඥ මහාචාර්ය සර්ගියෝ ගෝමස්ය. දුරස්ථ පාලනයෙන් ක්‍රියාත්මක කෙරුණු එම රොබෝ යන්ත්‍ර දුටු දේ ගැන සර්ගියෝ මෙසේ කියයි. ‘උමං පද්ධතිය රාජකීය සොහොන් ගැබකට විහිදෙන බව අප කල්තියා අනුමාන කළා. ඒ අනුමානය නිවැරදියි. ගවේෂණ යන්ත්‍ර උමං පද්ධතිය දිගේ යද්දී හමුවුණා කුඩා පිළිම 50,000 ක්. ඒවායින් 4,000 ක් ලීවලින් නිර්මාණය කළ ඒවායි. කුඩා මුරකරුවන්ගේ රූප ඒවා අතර තිබෙනවා.’

උමං මාර්ගය විහිදී යන්නේ ‘සර්පයාගේ දෙවොල’ යනුවෙන් පුරාවිද්‍යාඥයන් නම් කළ ශාලාවටය. යක් දෙස්සන් ලෙස ද සැලකුණු මායා පූජකවරුන් බිලි පූජා සඳහා භාවිතා කළ කිණිසි ආදිය ද උමං මාර්ගය තුළ තිබී හමුවී ඇතැයි පැවැසෙයි. මැටිවලින් කළ නිර්මාණ රැසක් ද උමඟ තුළ ඇතැයි පැවැසෙයි. තියෝටියුවකාන් යන්නෙහි අර්ථය ‘මිනිසුන් දෙවියන් වන ස්ථානය’ යන්නය.

කුඩා පිළිමවලින් නිරූපණය වන්නේ සොහොන් ගැබේ ආරක්ෂාවට යෙදවූ ආරක්ෂකයන් යැයි සර්ගියෝ ඇතුළු ගවේෂක කණ්ඩායම විශ්වාස කරති. ඉතා සියුම් කැටයම්වලින් නිරාමණය කළ මෙම කුඩා පිළිමවලින් මායාවරුන් සතුව පැවැති කැටයම් කලාව යළිත් වරක් අපට පසක් කර දෙන්නේ යැයි ද මහාචාර්ය සර්ගියෝ කියා සිටී.

පුරාවිද්‍යාඥ සර්ගියෝ ගෝමේස් යනු මෙක්සිකෝ ජාතික මනාව ඉතිහාස කෞතුකාගාරයේ මහාචාර්යවරයෙකි. ‘අපි ලබන වසරේ දී මෙම ස්ථානයේ කැණීම් ආරම්භ කරන්න සූදානමින් සිටිනවා. ඒ සඳහා අපට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ද ලැබී තිබෙනවා.’ යැයි සර්ගියෝ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා තිබේ.

මෙක්සිකෝවට පැමිණෙන සංචාරකයෝ තියෝටියුවකාන් ඉපැරණි නගරය මඟහැර නොයති. අතීතයේ ජීවත් වුණු මායා ගෝත්‍රිකයන්ගේ අබිරහස්, මෙම පුරායේ නටඹුන් වුණු පිරමීඩ සහ සොහොන් ගැබ්වල ඇතැයි කාගේත් විශ්වාසයයි. සෙසු මායා නගරවල මෙන්ම තියෝටියුවකාන් පුරයේත් හිරු සහ සඳු වන්දනා කිරීමට ඉදිකළ පිරමීඩ දකින්න ලැබේ.

අතීතයේ මෙම පුරයේ ලක්ෂයකට වැඩි පිරිසක් වාසය කරන්න ඇති බව ද පුරාවිද්‍යාඥයෝ පෙන්වා දෙති. තියෝටියුවකාන් පුරයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ ක්‍රි.පූ. 100 සිට ක්‍රි.පූ. 650 තෙක් කාලයයි. පූර්ව කොලොම්බියානු අවදියේදී භාවිතා කළ තියුණු ආයුධ රැසක් මෙම පුරයේ කම්මල්කරුවන් විසින් නිර්මාණය කළ බවට සාක්ෂි අනාවරණය වී ඇත.

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS