මහා විද්‍යාඥයා සමුගනී



මේ සියවසේ විශිෂ්ටතම විද්‍යාඥයා ලෙස සැළකෙන බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් මෙලොවින් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 76 කි.

මේ සියවසේ විශිෂ්ටතම විද්‍යාඥයා මෙන් ම ජීවිතයේ අභියෝග ජයගත් මිනිසා මහාචාර්ය ස්ටීවන් හෝකින් යැයි කීවොත් එය නිවැරදිය. මහාචාර්ය ස්ටීවන් හෝකින් ට අවුරුදු 22 වෙද්දී, ඔහු බරපතල ලෙස රෝගී විය. ඒ, සුව කළ නොහැකි ස්නායුගත ආබාධයක් හේතුවෙනි.

වෛද්‍යවරුන් එදා තරුණ හෝකින් ට කියා සිටියේ ඔහුට ජීවත් වීමට ඇත්තේ මාස 18 ක් පමණයි කියාය. කෙසේ නමුත් වෛද්‍යවරුන්ගේ නිගමනය අභියෝගයට ලක් කරමින් අවුරුදු 76 ක් ජීවත්වීමට හෝකිංස් සමත්විය.
මෑත ඉතිහාසයේ විද්‍යාව වෙනුවෙන් හෝකින් තරම් මෙහෙවරක් කළ වෙනත් කිසිදු විද්‍යාඥයෙකු නැත. ස්නායු ආබාධයට ලක් වීමෙන් පසු, 1974 වසර වෙද්දී, හෝකින් ට, තනිවම කෑම ගන්න හෝ ඇඳට යන්න හෝ නොහැකි විය. 1984 දී ඔහුට හරිහැටි කතා කිරීමට නොහැකි විය. 1985 වසර වෙද්දී කතා කිරීමට තිබුණු හැකියාව මුළුමනින්ම නැති විය.

ඒ කිසිවකින් මහාචාර්ය හෝකින් අධෛර්යයට පත් වූයේ නැත. එදා සිට ඔහු අවසන් හුස්ම හෙලන තෙක් අදහස් පළ කළේ ඔහුගේ කතාව හඬ බවට පෙරළීමට හැකි පරිගණකයක් භාවිත කරමිනි. එම පරිගණකය ක්‍රියා කළේ හෝකින් ඇසෙන් හා මොළයෙන් නිකුත් කරන සංඥාවලිනි.

‘කළු කුහර’ ගැන න්‍යායන් ලොවට හෙළි කළ තාරකා භෞතික විද්‍යාඥ ලෙස ද මහාචාර්ය ස්ටීවන් හෝකින් ප්‍රසිද්ධියට පත් වී සිටියේය. කේම්බි්‍රජ් සරසවියේ සිටි ශ්‍රේෂ්ඨ විද්‍යාඥ අයිසැක් නිව්ටන්ගේ තනතුර හෙබවීමේ ගෞරවයත් ඔහුට හිමි විය.

හෝකින් උපත ලැබුවේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ්හි 1942 වසරේ දී, ගැලීලියෝ ගැලීලීගේ අභාවය සිදු වී හරියටම වසර 300 කට පසුවය. සියවසේ මහා විද්‍යාඥයකු ලෙස සැලකෙන හෝකින් ඔහුගේ දෙමාපියන් ඉගෙනගත් ඔක්ස්ෆර්ඞ් සරසවියට ඇතුළත් ව, 1962 දී කලා උපාධියක් හිමිකර ගත්තත්, විද්‍යාඥයකු වශයෙන් ඔහුගේ කීර්තිය පැතිර යන්නට පටන් ගත්තේ කේම්බි්‍රජ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමෙන් පසුවය.

හෝකින් සිරුර අක්‍රිය වන පරිහානික රෝගයට ගොදුරු වූයේ 1963 වසරේදීය. සිරුර අක්‍රිය වී රෝද පුටුවකට සීමා වුනත් හෝකින්ගේ මොළයේ අක්‍රිය නොවිණි. මොළය ඉතාමත් තියුණු වෙමින් ක්‍රියා කරන්න පටන් ගත්තේය. වෛද්‍යවරුන් කී අයුරින්, හෝකින් මාස 18 කින් මියගියේ නැත.

රෝගය නිසා මුළු සිරුරම අප්‍රාණික වී රෝද පුටුවට සීමාවූ ඔහුට කතා කිරීමට නොහැකි වුවත්, ඔහු පර්යේෂණ කිරීම හා පොතපත ලිවීම මඳකින්වත් නැවැත්තුවේ නැත. මහාචාර්ය හෝකින් 1965 දී ජේන් වයිල්ඞ් හා විවාහ විය. ඇය 1991 වන තෙක් ඔහුව හොඳින් රැක බලා ගත් අතර ඒ විවාහයේ රොබට්, ලුසී හා තිමති නමින් දරුවන් තිදෙනෙක් වෙති.

ඇගෙන් දික්කසාද වුණු මහාචාර්යවරයා 1965 දී ඔහුගේ සාත්තු සේවිකාව වූ එලයන් මේසන් සමග විවාහ විය. ඇය කලින් විවාහව සිටියේ හෝකින්ට ඔහුගේ ප්‍රථම කතා කරන පරිගණකය නිර්මාණය කර දුන් ඬේවිඞ් මේසන් සමගය. 2006 දී ඔහු ඇගෙන් ද දික්කසාද විය.

(ඩේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS