භූමි කම්පාවෙන් 339 ක් මැරිලා



ඉරාන ඉරාක දේශසීමාවේ හටගත් ප්‍රබල භූමි කම්පාවෙන් මියගිය ගණන 207 තෙක් ඉහළ ගොස් ඇති බවත්, තුවාල ලැබූ ගණන 1,700 ඉක්මවා ඇති බවත් ඉරාන පුවත් සේවා වාර්තා කරයි.

භූමි කම්පාව හටගත්තේ ඉරාන වේලාවෙන් රාත්‍රී 9.20 ට පමණය. නිවාස සහ ගොඩනැගිලි බිමට සමතලා වෙද්දී බොහෝ දෙනා නින්දේ පසුවුණු බව ද පැවැසෙයි.

භූමි කම්පාවත් සමඟ කඳුකරයේ නායයෑම් හටගත් බවත් ඉරාන සහ ඉරාක ගම්මාන රැසක් පස් සහ ගල් කුට්ටිවලින් වැසී ගිය බවත් වාර්තා වේ.

වැඩිම ජීවිත හානි වාර්තා වී ඇත්තේ ඉරානයෙනි. ඉරාකයේ මියගිය ගණන 29 ක් යැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ. භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 7.3 ක ප්‍රබලත්වයක් සටහන් කළේය.

භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ ඉරානයේ හලප්ජා නගරයට නුදුරිනි. භූමි කම්පාවෙන් දරුණු ලෙස හානි සිදුවූයේ  ඉරාක ඉරාන දේශසීමාවට කිලෝ මීටර් 15 ක් දුරින් ඉරානයේ කෙර්මන්ෂා පළාතේ පිහිටා ඇති ෂාපොල් ඊ සහාබ් නමැති නගරයටය.

ඉරාන හමුදාවේත් පොලිසියේත් සහාය විපතට පත්වූවන්ට හිමිවුණු බව වාර්තා වේ. තුවාලකරුවන් කඩිනමින් රෝහල් ගත කෙරුණි.

ප්‍රබල භූමි කම්පාවෙන් පසු අතුරු භූ කම්පන රැසක් ද වාර්තා විය. භූමි කම්පාවේ ප්‍රබලත්වය තුර්කියට, ඊශ්‍රායලයට පමණක් නොව කුවේටයට ද දැනී ඇතැයි ද වාර්තා වේ.

ඉරාන ඉරාක දේශසීමාවට යටින් භූ තැටි මායිමක් පවතී. එහෙයින් භූමි කම්පා හට ගැනීම අසාමාන්‍ය දෙයක් නොවන බවත් මීට පෙර ද අති බිහිසුණු භූමි කම්පා හේතුවෙන් ඉරානයේ සිය ගණනින් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඉරාන මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS