පාප්තුමෝ චිලියේ



ලතින් ඇමෙරිකා සංචාරයක් ආරම්භ කරමින්, ශුද්ධෝත්ම ෆ්‍රැන්සිස් පාප්තුමෝ චිලී රාජ්‍යයට පැමිණියේය.

චිලී රජයෙන් සහ එරට කිතුනුවන්ගෙන් පාප්තුමාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. පාප්තුමාගේ මෙම චිලී සංචාරය අතිශය වැදගත් එකකි. ඊට හේතුව චිලීයේ පාදිලිවරුන් අතින් ළමා අපයෝජන සිදුවෙනවා යැයි එල්ල වී ඇති චෝදනා හේතුවෙනි.

 පාප්තුමෝ අපයෝජනයට ලක්වුණු දරුදැරියන් පිරිසක් හමුවූහ. ඒ, සැන්ටියේගෝ අගනුවරදීය. සැන්ටියේගෝ නුවර වතිකානයේ විශේෂ ශාඛාවක් ද පිහිටුවා තිබේ.

එම දරු දැරියන්ට සිදුවී ඇති එම ඛේදනීය ඉරණම අසන්න ලැබීමෙන් පාප්තුමෝ මහත් සේ කම්පාවට පත් වූහ. චිලී පුවත් සේවා වාර්තා කළේ එතුමන් කඳුළු සැලූ බවය.

එහිදී පාප්තුමෝ අවධාරණය කළේ සැමවිටම පල්ලියේ ගෞරවය රැක ගැනීමටත්, පල්ලියේ කීර්ති නාමය ආරක්ෂා කිරීමටත් කටයුතු කළ යුතුයි කියාය.

මෙම අපයෝජන මුල්කොට ගනිමින් පාප්තුමාට විරෝධය පළ කරමින්, විරෝධතා රැළි පවා සැන්ටියේගෝ අගනුවර කේන්ද්‍රකොට ගනිමින් පසුගිය දින කිහිපය පුරා පැවැත්විණි. කලහකාරීව හැසිරුණු පිරිස් විසුරුවා හැරීමට කැරැලි මර්දන පොලිසිය යෙදවීමට චිලී රජය පියවර ගත්තේය.

ඉකුත් සතියේ ප්‍රකෝපකාරීන් පිරිසක් කන්කෝ නගරයේ ක්‍රිස්තියානු දේවස්ථානයක් ගිනිබත් කළ බවට ද වාර්තා පළ විය. ඊට අමතරව දකුණුදිග චිලී රාජ්‍යයේ ඇරොකානියා පළාතේ ක්‍රිස්තියානි දේවස්ථානයකට ද ප්‍රහාරයක් එල්ල විය.

ශුද්ධෝත්තම පාප්තුමෝ සැන්ටියේගෝ නුවර සැන් ජෝකින් කාන්තා බන්ධනාගාරයට ගොස් එහි රැඳෙවියන් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසා බැලූහ. රැඳෙවියන් වෙනුවෙන් කෙටි දේව මෙහෙයක් ද පැවැත්විණි.

චිලී රාජ්‍යයේ සංචාරයක නියැළෙන දෙවැනි පාප්තුමන් වන්නේ ෆ්‍රැන්සිස් පාප්තුමන්ය. දෙවැනි ජෝන් පෝල් පාප්තුමා චිලී රාජ්‍යයේ සංචාරයකට පැමිණියේ 1987 වසරේදීය.

(රොයිටර්/ඬේලිමේල්)


RECOMMEND POSTS